
වසරේ වැඩි කාලයක් ඔවුන් ගෙවා දමන්නේ සිය හේන් වගා කටයුතු වෙනුවෙනි.
Published
රීදීමාලියැද්ද ගොවි ඉඩම් ගැටළුව ලෙස හඳුන්වනු ලබන්නේ බිබිල සීනි සංවර්ධන ව්යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්රික්කයේ, රිදීමාලියැද්ද ප්රාදේශයේ දෙහිගම කොටසේ ගොවි පවුල් 163 ක් මහවැලි අධිකාරිය විසින් බලහත්කාරයෙන් ඔහුන්ගේ වගා බිම් වලින් නෙරපීමට උත්සහ දැරීම, වගා විනාශ කිරීම සහ ස්ථාවර නිවාස කඩා බිඳ දමා අවතැන් කිරීමයි.
රිදීමාලියැද්ද, දෙහිගම ගම්මානයේ ජීවත් වන මිනිසුන්ගේ ප්රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි, මඩ ගොවිතැන අල්ප වශයෙන් සිදු කෙරුනද, වසරේ වැඩි කාලයක් ඔවුන් ගෙවා දමන්නේ සිය හේන් වගා කටයුතු වෙනුවෙනි. බඩ ඉරිඟු වගාව ප්රධාන ආදායම් මාර්ගය වන අතර වසරකට එක් වරක් පමණක් ඉරිඟු වගා කෙරේ. මීට අමතරව රටකජු, කුරහන්, කවුපි, මිරිස්, කැකිරි, මෑ, මුං වැනි බෝගද ඔහුනගේ වගා බිම් තුළ වගා කෙරේ.
වසරේ එක් කන්නයකදී පමණක් හේන් වගාව සිදු කරන නිසා නැවත වගා කරන තුරු මේ බිම් පවතිනුයේ වනාන්තරයට නිරාවර්ණය වන ලෙසිනි. වන අලීන්ගේ ප්රධාන අලිමංකඩ පවා මේ වගාබිම් කෙලවර පවතින අතර, ගොවීන්ගේ වගා කටයුතු, වන අලීන්ගේ සංචරනයට බාධාකාරී ලෙස පවතින ඒවා නොවේ සහ අද වනතුරු වන අලීන්ගේ එකඳු පහරදීමක් හෝ රිදීමාලියැද්ද, දෙහිගම ප්රදේශයෙන් අසන්නට ලැබෙන්නේ නැත.
බදුල්ල දිස්ත්රික්කයේ රිදිමාලියද්ද මිරිහන දෙහිගම ප්රදේශය මුල්කර ගනිමින්, බිබිල සීනි සංවර්ධන ව්යාපෘතිය යනුවෙන් වැඩසටහනක් ආරම්භ කරන්නට 2006 වසරේදී එංගලන්ත බුකර්ටෙටි සමාගම කටයුතු කරනු ලබයි. එහෙත් පැන නැගුන ජනතා විරෝධය හමුවේ එම ව්යාපෘතිය හකුලා ගන්නට එම විදෙස් සමාගමට සිදු විය. ඉන් පසුව, චීනයේ සි/ස ගුආන් ඩිගෝන් ගුආන් කන් සීනි සමුහ සමාගමද මෙරට මෙරට අයි.එම්.එස් හෝල්ඩින් සමාගම සමග එක්ව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරිමට උත්සහ කලද එය අසාර්ථකවිමෙන් පසු රට හැර ගියේය. අද වන විට මෙරට අයි.එම්.එස් හෝල්ඩින් සමාගමේ හවුල්කාරීත්වය ඇතිව සිංගප්පුරුවේ සි/ස ගැසල් වෙන්චරස් පුද්ගලික සමාගම බිබිල සීනි සංවර්ධන ව්යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන්නට ඉදිරිපත් වී තිබේ. සංවර්ධන ව්යාපෘතිය සඳහා ඉඩම් අක්කර 65000ක ප්රමාණයක් සමාගම, මෙරට රජයෙන් ඉල්ලා සිටින අතර, ඒ අනුව යමින් සීනි සංවර්ධන ව්යාපෘතියේ පළමු පියවර ලෙස රිදීමාලියැද්ද, දෙහිගම ප්රදේශයේ හෙක්ටයාර 149ක භූමිය සීනි කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරිය 2017 වසරේදී කටයුතු කරනු ලැබේ. මෙම හෙක්ටයාර 149ක භූමිය තුළ වසර 40කට වඩා සාම්ප්රදායික ගොවිතැනෙහි යෙදෙන ගොවි පවුල් 163 ක් පමණ සිටින අතර ඔහුන්ව බලහත්කාරය යොදා, වගා බිම් විනාශ කොට, නිවාස කඩා බිඳ දමා වගා බිමෙන් පන්නා දමන්නට මහවැලි අධිකාරිය කටයුතු කරීමත් සමග රිදීමාලියැද්ද සාම්ප්රදායික ගොවිතැනෙහි යෙදුන ගොවීන් එකතු වී ඊට විරෝධය පා මහවැලි අධිකාරියේ නිලධාරීන් පලවා හරිනු ලබයි. තුන් වන වතාවටත් රිදීමාලියැද්ද ගොවි ඉඩම් අරගලය සඳහා පාර කැපෙනුයේ මේ ආකාරයටය.
දශක හතරකට වැඩි කාලයක් රජයේ ඉඩම් බලපත්ර ඇතිව සහ අනවසරයෙන් වගා කටයුතු කෙරුණ දෙහිගම ගොවීන් පලවා හැරීමත් සමග ඊට විරෝධය පා ඌව-වෙල්ලස්ස ගොවි සංවිධානය, නීතිය හා සමාජ භාරය ආයතනයෙන් මේ බලහත්කාරී නෙරපීමට එරෙහිව කටයුතු කරන්නට නීති ආදාර ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනු ලබයි. ඒ වෙනුවෙන්, ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංධානය(පාර්ල්),පරිසර යුක්ති කේන්ද්රය(සීඊජේ), ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය(මොන්ලාර්) සමග එක්ව, ස්වභාවික පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කරන්නටත්, ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන්නටත්, අවශ්ය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නට එකඟවිය.
රිදීමාලියැද්ද ගොවි ඉඩම් අරගලය වර්ථමාන තත්වයට ගෙන ඒම සඳහා සිවිල් සංවිධාන ගණනාවකගේ දායකත්වය ලැබිණි. 2015 වර්ෂයේ සිට පාරසරිකව සිදුවන හානියට එරෙහිව පරිසර යුක්ති කේන්ද්රය කොළඹ, මහියංගනය වැනි අධිකරණ කිහිපයක නඩු පවරා ඇති අතර, එය අවස්ථා 50කට වඩා වැඩිය. අදටද කොළඹ අභිආචනාධිකරණයේ බිබිල සීනි සංවර්ධන ව්යාපෘතිය ට ඉඩම් පවරා ගැනීමේ දී සිදුවන පාරසරික හානියට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතී. ඒ වාගේම, ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය, ඌව ජන අයිතිය සුරැකීමේ සංවිධානය, වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය, රිදීමාලියද්ද ගොවි ඉඩම් අරගලය ජයග්රහණය සඳහා නන් අයුරින් අදට ද සහය පලකරමින් සිටී.
නීතිය හා සමාජ භාරය ආයතනය සහ ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංධානය විසින් දෙහිගම ගොවීන් බලහත්කාරයෙන් සිය වගා බිම් වලින් නෙරපීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම සඳහාත්, අධිකරණය හරහා ඉඩම් වල භුක්තිය වෙනුවෙන් සිදු වූ අගතියට සාධාරණය ඉටුකරවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමේ අරමුණ ඇතිව ඉඩම් තොරතුරු එක රැස් කරන්නට කටයුතු කරනු ලබයි. එමෙන්ම දෙහිගම හා ඇකිරියන් කුඹුර ගම්මාන වල ගොවීන් රැස්කොට සිය වගා බිම් පිළිබඳව ඇති භුක්තිය සහ අයිතිය පෙන්විය හැකි ලේඛණ එකතු කොට ලබා ගත් තොරතුරු සිතියම්ගත කරයි. මීට අමතරව, රිදීමාලියැද්ද දෙහිගම සහ ඇකිරියන් කුඹුර ගොවි ඉඩම් පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව සතුව ඇති තොරතුරු ලබා ගැනීම, බදුල්ල කච්ඡේරිය, බදුල්ල ඉඩම් කොමසාරිස් කාර්යාලය හා බදුල්ල මිනින්දෝරු දෙපාර්තුමේන්තුව සතුව ඇති ලේඛණ ලබා ගැනීමටද කටයුතු කරනු ලබයි.
බිබිල දෙහිගම, ඉඩම් පැහැර ගැනීම පිළිබඳව ජාතික තලය දැනුවත් කිරීම සඳහා, සමාජ මාධ්ය හරහා ප්රචාරන වැඩසටහන් දියත් කළ අතර, ජනතාවගේ ඉඩම් අයිතිය, ස්වාභාවික පරිසරයට සීනි සංවර්ධන ව්යාපෘතියෙන් කරන්න නියමිත හානිය සහ පුරා විද්යා ස්මාරක විනාශ කිරීම පිළිබඳව පරිසර වේදී සජීව චාමිකර සමග වාර්ථාමය වැඩසටහන් කිහිපයක් සකසන ලදී. එතැනින් නොනැවතී ගොවි සංවිධාන, පරිසර සංවිධාන සහ බහුජන සංවිධානවල එකතුවෙන් 2022 මාර්තු මස දොළොස්වනදා බිබිල නගර මධ්යයේ විරෝධතා පාගමනක් සූදානම්කොට බිබිල සීනි සංවර්ධන ව්යාපෘතිය නිසා අම්පාර,බදුල්ල සහ මොණරාගල දිස්ත්රික්ක වල ඉඩම් අක්කර 65000කට වන්නට නියමිත ඛේදවාචකය පිළිබඳව ජනතාව දැනුවත් කරනා මහජන රැළියක් සංවිධානය කළේය.
2022 පෙබරවාරි මාසයේ දී මහවැලි අධිකාරිය, ශ්රී ලංකා පොලීසිය, පැමිණ දෙහිගම ඉඩම්වල සිටි ගොවීන් පන්නා දමා වගාවන් විනාශකොට කරන ලද විනාශයට එරෙහිව එම අවස්ථාවේදීම ගොවි සංවිධාන මැදිහත් වී මහවැලි අධිකාරියේ නිලධාරීන් පන්නා දමන ලදී. ඉන් පසුව මහවැලි අධිකාරිය විසින්, බිබිල සීනි කම්හල ඉදිකිරීමට නියමිත ප්රදේශය වට කොට කිලෝ මීටර14ක ප්රමාණයට ආරක්ෂිත වැටක් ඉදි කළද, 2022 අප්රේල් දෙවන දින දෙහිගම සහ ඇකිරියන් කුඹුර ගොවීන් එක්වී එය ගලවා දමනු ලබයි. අද වන විට බලහත්කාරීව පන්නා දමන ලද ඉඩම් වලට නැවත ඇතුළු වූ ගොවීන් සියළුම වගා බිම් සරුසාරව නැවත වගා කර ඇති අතර, කෙසෙල් සහ ස්ථීර බෝග වගාවන් සඳහාද ගොවීන් යොමු වී තිබෙන බව දැක ගත හැකිය.
2023 මාර්තු.