
විකිණිය හැකි ඔප්පු මගින් ගොවි ජනතාව අසරණ කිරීම හා උරුමය ඔප්පු ලබා දෙන අතර අලි - මිනිස් ගැටුම වර්ධනය කිරීමේ ආණ්ඩුවේ අරමුණ.
Published
උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද?
අද වන විට ආණ්ඩුවට අවශ්ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් කර, ගොවි බිම් තුළ ම අවතැන් කර, ණයකරුවන් බවට පත් කර, ගොවිතැනෙන් ඉවත් වන තත්ත්වයට අසරණ කර ඉන් අනතුරු ව ගොවියාට උරුමය නමින් සින්නක්කර ඉඩම් අයිතිය පමණක් ලබා දීමට ආණ්ඩුව ක්රියා කරයි. එමගින් ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රමුඛ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කඩිනමින් එම ඉඩම් විකුණා දමන ගොවියකු නිර්මාණය කිරීමට ය. විකිණිය හැකි ඉඩම් වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්රතිපත්තිය වී ඇත. මෙය ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීම සඳහා 2024 මාර්තු මස 4 වන දින ලබා ගත් කැබිනට් මණ්ඩල අනුමැතියෙන් ද තවදුරටත් තහවුරු වේ.
එය එසේ නොවන්නේ නම් ආණ්ඩුව කළ යුතු වන්නේ පරම අයිතිය සහිත සින්නක්කර ඔප්පු ලබා දීමට ප්රථමයෙන් කෘෂි රසායනික සමාගම්වල දරුණු ග්රහනයට ලක් කර ආර්ථික හා සමාජයීය පීඩනයන්ට ගොදුරු කර අවතැන් කර ඇති ගොවියා ඉන් මුදවා ගැනීම ය. නමුත් එවන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති ආණ්ඩුව ගොවිතැන මත පදනම් වූ ජල සුරක්ෂිතතාව හා ඵලදායීතාව වැඩි ම මහවැලි කලාපවලට අයත් ඉඩම් ගොවීන්ට ලබා දීම වෙනුවට මහ පරිමාණයෙන් බඩඉරිගු හා උක් වගාව සඳහා සමාගම්වලට හා ව්යාපාරිකයන්ට ලබා දීම සිදු කරයි.
මේ නිසා අප අවධාරණය කරන්නේ පළමු ව කළ යුතු වන්නේ සමාගම්වල ලාභය සඳහා මෙහෙයවන කෘෂිකර්මාන්තයේ ගොදුරක් බවට පත් කර ගෙන සිටින ගොවියා ස්වෛරී ගොවියකු බවට පත් කිරීමට පියවර ගැනීම ය. එපමණක් නොව ගොවිතැන හා බැදුණු ජල අයිතිය, බීජ අයිතිය පමණක් නොව අස්වැන්න සමාගම් හා ව්යාපාරිකයන් විසින් කොල්ලකන යාන්ත්රණයෙන් ද ගොවියා නිදහස් කළ යුතු ය. මේ සියල්ලෙන් පසු ව ඉංග්රිසි ජාතික දාර්ශනිකයකු වන තෝමස් හොබ්ස් (1588 - 1679) සඳහන් කරන පරිදි ගොවීන්ට තම භූමියට ඇති අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ණ ස්වෛරී බලය ලබා දිය යුතු ය. ඒ තුළින් වගා කරන භෝග පිළිබඳ ව, වගා කරන කන්නය පිළිබඳ ව, ජලය ලබා ගැනීම පිළිබඳ ව පමණක් නොව අස්වැන්නේ මිල තීන්දු කිරීම හා පාරිභෝගිකයා වෙත ලබා දීම දක්වා සමස්ත සමාජයේ අදහස් මත සියල්ල තීරණය කිරීමේ බලය ගොවියා සතු විය යුතු ය. දැනට මේ සියල්ල තීන්දු කරන්නේ සමාගම් කිහිපයක් හා ව්යාපාරිකයන් කිහිප දෙනෙකු විසිනි. ඒ නිසා ගොවියා හා පාරිභෝගිකයා යන දෙපාර්ශවය ම දරුණු සූරාකෑමකට ලක් වේ. එය වැළැක්වීමට පරම අයිතිය සහිත සින්නක්කර ඔප්පුවකට වඩා පුලුල් ස්වෛරී බලයක් ගොවීන්ට ලබා දිය යුතු ය. මෙම බලය ගොවි ජනතාවට ලබා දිය යුතු බව අප තරයේ විශ්වාස කරන්නේ ඒ මත රටේ ආහාර ස්වෛරීභාවය ගොඩනැංවිය හැකි වන බව අවබෝධ කර ගෙන ඇති නිසා ය.
ඒ වෙනුවට නීති විරෝධී, ගොවියා රවටන, බල දේශපාලන අරමුණු මත පදනම් වූ “උරුමය” ඔප්පු ලබා දීමේ ක්රියාවලිය සම්පූර්ණයෙන් ම නතර කළ යුතු ය. එය එසේ අප අවධාරණය කරන්නේ ආර්ථික විද්යාඥ ඇඩම් ස්මිත් (1723 - 1790) සඳහන් කරන ආකාරයට ම සිවිල් ආණ්ඩු ඉඩම්වල ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති තාක් කල් සත්ය වශයෙන් ම සිදු වන්නේ දුප්පතුන්ට එරෙහි ව ධනවතුන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව අප ද ඉතා හොඳින් දන්නා නිසා ය.
ඉඩම යනු හුදු වාණිජ භාණ්ඩයක් පමණක් නොවේ. ඒ වටා ආහාර ස්වෛරීභාවය මෙන් ම සමාජ ආර්ථික තත්ත්වයන් හා සංස්කෘතිය යන සියල්ල බැදී පවතී. 2002 වසරේ දී එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ජීන් ශිගලර් අවධාරණය කර ඇත්තේ භූමියට ඇති ප්රවේශය ලෝකයේ කුසගින්න තුරන් කිරීම සඳහා අවශ්ය ප්රධාන අංගයක් වන බව ය. මේ අනුව ආහාර අයිතිය හා ඉඩම් අයිතිය එකිනෙක හා බැදී පවතින බව පෙනී යයි. ආහාර අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවකු වූ ඔලිවියා ද ශුටර් සඳහන් කරන්නේ මහ පරිමාණ ඉඩම් අත්පත් කර ගැනීම් නිසා ආහාර අයිතිය බිඳ වැටෙන බව ය.