
ශ්රී ලංකාවේ මෙතෙක් ක්රියාත්මක කළ සංවර්ධන ව්යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්යාපෘතියයි.
Published
ශ්රී ලංකාවේ මෙතෙක් ක්රියාත්මක කළ සංවර්ධන ව්යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්යාපෘතියයි.
මෙම ව්යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ත්රික්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 7450 ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී. භූගත උමං කැණීමෙන් ඇති වී තිබෙන මහා ජල කාන්දුවීම් හේතුවෙන් ළිං ඇතුළු ජල මුලාශ්ර සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුද උද්ගතවීම, කුඹුරු ඇතුළු ගොවි බිම් විනාශ වීම හා භූමිය අස්ථාවර වීමෙන් නිවාස හා දේපල විනාශ වී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදු ව තිබේ.
උමාඔයේ ජලය හරවා යැවීම සඳහා ඉදිවන ජලාශ දෙකෙන් පුහුල්පොළ ජලාශය ඉදිවන්නේ වැලිමඩ නගරයට පහළින්, වැලිමඩ – බදුල්ල මාර්ගයේ 104 කිලෝමීටර කණුව අසල දී ය. වේල්ලේ උස මීටර 45 කි. දිග මීටර 210 කි. පළල මීටර හයකි. ජලශයේ ධාරිතාව හෙක්ටයාර 18.5 කි. මේ හේතුවෙන් වැලිමඩ හා ඌවපරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් නිවාස 98 ක් සහ පවුල් 128 කට අයත් කෘෂිකාර්මික බිම් යට වෙයි. ජලාශයේ දකුණු ඉවුරේ දිවිකොටවර හා පුහුල්පොළ ගම්මානවල ජනතාව, වම් ඉවුරේ ඉහළ කොටවර හා පහළ කොටවර ගම්මානවල ජනතාව, වැලිමඩ නගරය ආශ්රිත ජනතාව මේ ජලාශය හේතුවෙන් අවතැන් වෙති. තව ද වැලිමඩ – බදුල්ල මාර්ගයේ කිලෝමීටර තුනක ප්රදේශයක් ජලාශයට යට වන අතර, ඉහළ හා පහළ කොටවර ගම්මානවල පිවිසුම් මාර්ග ද ජලාශයට යට වේ.
දෙවන ජලාශය වන ඩයරබා ජලාශය ඉදිවන්නේ ඇටම්පිටිය ප්රදේශයේ දී ය. වේල්ලේ උස මීටර 50 කි. දිග මීටර 142 කි. පළල මීටර 6 කි. ජලාශයේ ධාරිතාව හෙක්ටයාර 15.6 කි. ඩයරබා ජලාශයට පවුල් 69 ක කෘෂිකාර්මික බිම් යට වෙයි.
ජලාශ දෙකට ගොදුරු වන ප්රදේශයේ වී, එළවළු හා අර්තාපල් වගාව ප්රධාන වශයෙන් සිදු කැරේ. ජලාශ දෙකට යට වීමෙන් රටට අහිමි වන වී අස්වැන්න වාර්ෂික ව මෙට්රික් ටොන් 153 කි. අහිමි වන ආදායම රුපියල් මිලියන 4.6 කි. අහිමි වන එළවළු හා අර්තාපල් නිෂ්පාදන ධාරිතාව මෙට්රික් ටොන් 135 කි. ඒ අනුව අහිමි වන ආදායම රුපියල් මිලියන 6 ක් පමණ වේ. මේ වාරි ව්යාපෘතියත් සම`ග ම රටට අහිමි වන සම්පත් ය.
ව්යාපෘතිය යටතේ ඉදිවන උමං හේතුවෙන් කඳුකරයට සිදුවිය හැකි බලපෑම ඉතා අධික ය. ව්යාපෘතියෙන් වෙන් වෙන් වශයෙන් භූගත උමං 7 ක් ඉදි වේ. පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.9 ක් දිග උමඟ, ඩයරබා ජලාශයේ සිට භූගත විදුලි බලාගාරය දක්වා ජලය ගෙන එන කිලෝමීටර 15.15 ක් දිග උමඟ, මේ උමග තුළ සකස් වන භූගත ජල හැරවුම් ටැංකි දක්වා පිවිසීමට ස්ථාන තුනකින් සකස්වන සම්පූර්ණ දිග කිලෝමීටර 2.24 ක් වන උමං ත්රිත්වය, භූගත ජල විදුලි බලාගාරය දක්වා පිවිසීමට හා අධිබලැති විදුලි රැහැන් පද්ධතිය මතු පිටට ගෙන ඒම සඳහා සකස් වන කිලෝමීටර 1.44 ක් දිග උමඟ සහ බලාගාරයේ සිට අලිකොටආර දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.33 ක් දිග උමඟ වශයෙනි. ඉදි වන සම්පූර්ණ උමංවල දිග කිලෝමීටර 26 කි. මේ උමං කැණීමෙන් ඉවත්වන පාෂාණ ප්රමාණය කියුබික් මීටර 440,000 සිට 1,110,000 අතර වේ.
මේ ව්යාපෘතියේ වැඩි කොටසක් ක්රියාත්මක වන්නේ උස් කදුකරයේ ය. උස් කදුකරයේ භූගත කැණීම්වල දී ඇතිවන කම්පන හේතුවෙන් පාංශු ස්තර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම හා ජල මාර්ගවලට බලපෑම් ඇති වීම සිදුවිය හැකි ප්රධාන බලපෑම් ය.