
පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය අනීතික ආකාරයෙන් පොන්නවේලි ටෝකියෝ සිමෙන්ති කම්හල් විරෝධතාවයේ සංවිධායකගේ නිවස වැටලීම සම්බන්දයෙන් අප විරෝධය දක්වා සිටිමු.
Published
පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය අනීතික ආකාරයෙන් පොන්නාවේලි හුණුගල් නිධිය කැණීමේ ව්යාපෘතියට එරෙහිව දැනට සිදු කෙරෙමින් පවතින විරෝධතාවයේ සංවිධායකගේ නිවස වැටලීම සම්බන්දයෙන් අප විරෝධය දක්වා සිටිමු.
ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) වන අපි පසුගිය අඟහරුවාදා (09) දින පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය විසින් ‘සමස්ත ජනතා සංගම් සාමූහිකයේ (All People's Collective) සභාපති වල්ලිපුරම් බාස්කරන් මහතාගේ නිවස වටලනු ලැබීම තරයේ හෙළා දකිමු. මෙම පිළිකුල් සහගත ක්රියාව යුක්තිය පිළිබඳ මූලධර්ම සහ ප්රජාතන්ත්රවාදී සාරධර්ම උල්ලංඝනය කරනවා පමණක් නොව, විරුද්ධ මතවල හඬ යටපත් කිරීමට රාජ්ය බලය යොදා ගැනීම පිළිබඳ දැඩි තැතිගැන්මක් ද ඇති කරවයි.
කිලිනොච්චි දිස්ත්රික්කයේ පූනගරි ප්රදේශයේ, පොන්නාවේලි හුණුගල් නිධිය කැණීමේ ව්යාපෘතියට එරෙහිව දැනට සිදු කෙරෙමින් පවතින විරෝධතාවලට සමගාමීව සිදු කළ මෙම වැටලීම දියත් කරනු ලැබූ කාලය සහ එහි ස්වභාවය දැඩි ලෙස සැක සහිත ය. මෙම සෝදිසි කිරීම සඳහා නිල සුනඛයන් පවා යොදා ගැනීම මෙම සිද්ධිය සම්බන්ධ ඛේදජනක තත්ත්වය තවත් තීව්ර කරයි. මෙම වැටලීම සිදු කිරීමට හේතු වූ කරුණු පිළිබඳ විනිවිදභාවයක් නොමැතිකම ඒ පිළිබඳ අනුමානය තව තවත් වැඩිකිරීමට හේතු වන අතර, බලධාරීන් කෙරෙහි ඇති මහජන විශ්වාසය ද පළුදු කරයි.
විශේෂයෙන් ම, ජනතාවගේ අයිතිවාසිකම් හා යහපත ආරක්ෂා කිරීමට උත්සාහ කරන ව්යාපාරයකට සම්බන්ධ නායකයෙකුට එරෙහිව මෙවැනි ක්රියාමාර්ග ගැනීම බිය දනවනසුළු වේ. මෙම වැටලීම පොන්නවේලි ප්රදේයෙන් පිටත සිදු කෙරෙන හුණුගල් කැණීමට එරෙහි විරෝධතාකරුවන් බිය ගන්වා ඔවුන්ව නිහඬ කිරීමේ උත්සාහයක් විය හැකි බවට වල්ලිපුරම් බාස්කරන් මහතා සිදු කරන ප්රකාශය බලධාරීන්ගේ චේතනාවන් පිළිබඳ දැඩි දෝෂාරෝපණයක් වේ.
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය ‘සමස්ත ජනතා සංගම් සාමූහිකය’ වෙත සිය සහයෝගය පළකර සිටින අතර, ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයගේ නීත්යානුකූල හඬ යටපත් කිරීමට දරනු ලබන ඕනෑම ප්රයත්නයක් හෙළා දකියි. සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහස ප්රජාතන්ත්රවාදී සමාජයක පිළිගත් මූලික මූලධර්ම වන අතර, මෙම මූලධර්ම යටපත් කරන ඕනෑම ක්රියාවක් අපේ රටේ ප්රජාතන්ත්රවාදී ව්යූහයට කරන ඍජු නිග්රහයකි.
එපමණක් නොව, ටෝකියෝ සිමෙන්ති සමාගමේ යෝජිත ව්යාපාරයක් වන පොන්නවේලි හුණුගල් කැණීමේ ව්යාපෘතිය පිළිබඳව ද ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංධානය දැඩි කනස්සල්ල පළ කර සිටියි. මෙම ව්යාපෘතිය මගින් පරිසරයට, කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට සහ අවට ගම්මානවල ජනතාවගේ සමස්ත යහපැවැත්මට ඇති විය හැකි අහිතකර බලපෑම් පුළුල්ව විමසා බැලිය යුතුය.
සිවිල් යුද්ධය මගින් ඇතිවූ විනාශය හේතුවෙන් හානියට පත් පොන්නවේලි ගම්මානය දෙමළ ජනතාවගේ සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි. මෙම ප්රදේශයේ ජනතාවට අතිශය වැදගත් වන කුඹුරු, තණබිම් සහ නිවාස ආක්රමණය කරමින් අක්කර 3,000 ක් පුරා පැතිරෙන යෝජිත මහා පරිමාණ සිමෙන්ති කර්මාන්ත ශාලාව මේ වන විටත් අපමණ දුෂ්කරතා විඳිමින් සිටින මෙම ගම්වාසීන්ගේ ජීවනෝපාය වලට සෘජු තර්ජනයක් එල්ල කර ඇත.
බලපෑමට ලක්වන ප්රජාවන්ගේ අදහස් විමසීමකින් තොරව පුද්ගලික සමාගම් විසින් පර්යේෂණ සිදු කර ඇති බව පැවසෙන අතර, එය මෙම විරෝධතාවයේ මුල් අවධියේ දී ම විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනු ලැබීමට හේතු වී ඇති බව දැනගැනීමට ලැබීම මහත් කණගාටුව දනවන කරුණක් වේ. පොන්නවේලි ප්රදේශයේ ධෛර්ය සම්පන්න ජනතාව දින එකසිය පනහකට (150) අධික කාලයක් පුරා සාමකාමී විරෝධතාවයක නිරතව සිටින්නේ තමන්ගේ ඉඩම් හා අයිතීන් ආරක්ෂාකර ගැනීමට ඔවුන් තුළ ඇති නොසැලෙන කැපවීම ප්රදර්ශනය කරමිනි.