
හරිත ධනවාදය මන්නාරම දූපතේ පරිසර පද්ධති සහ ජීවිත සූරාකන ආකාරය
Published
ප්රතිලාභය සඳහා කැපකිරීම: “හරිත” ධනවාදය මන්නාරම දූපතේ පරිසර පද්ධති සහ ජීවිත සූරාකන ආකාරය
හැඳින්වීම
ශ්රී ලංකාවේ වයඹදිග වෙරළ තීරයේ පිහිටා ඇති මන්නාරම් දූපත (மன்னார் தீவு) ප්රධාන වශයෙන් ම වැලි සහ වැලිකඳු වලින් නිර්මාණය වී ඇති අතර, 72,000 ක පමණ ජනගහනයකින් සමන්විත, ගොඩබිම්, සමුද්රීය සහ කුරුළු සත්ත්ව විශේෂ වලට ප්රසිද්ධියක් උසුලන විචිත්රවත් පරිසර පද්ධති සහිත මෙම ආකර්ෂණීය දූපත හානියට පත්වීමේ ප්රවණතාවයකට, එනම් ‘හරිත සෝදාහැරීමකට’ (පාරිසරික වටිනාකම පිළිබඳ අසත්ය හෝ නොමග යවනසුළු ප්රකාශ නිකුත් කරනු ලැබීමට) මුහුණ දී තිබේ. ලෝකයට දේශගුණික අර්බුද සඳහා විසඳුම් අවශ්ය කර තිබෙන අවස්ථාවක, සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා තිබෙන හදිසිය නිසා ඒවායින් සිදුවන විනාශකාරී ප්රතිවිපාක දෙස අවධානය යොමු නොකිරීම පිළිබඳ වර්ධනය වෙමින් පවතින කනස්සල්ලක් තිබේ. තිරසාරත්වයේ මුවාවෙන් ලාභය උදෙසා මන්නාරමේ මෙම සුවිශේෂි පරිසර පද්ධති සහ එම පද්ධති විසින් ජීවත් කරවන ජීවිත සූරාකෑමට ලක්කිරීමේ ක්රියාකාරකම් පිළිබඳව සහ ඔවුන් මුහුණ දෙන විවිධ තර්ජන පිළිබඳව මෙම ලිපිය මගින් විමසා බලනු ලැබේ.
මන්නාරම් දූපත යනු විභවයෙන් සහ අන්තර් සම්බන්ධිතභාවයෙන් පිරුණු තෙත්බිම් ජෛව විවිධත්වයක් වන අතර, මෙම දූපත පොදුවේ බෙදාහදා ගන්නා අනෙකුත් පරිසර පද්ධති සහ සතුන් සමග මිනිසුන්ට තිබෙන සම්බන්ධතාවය ක්රමයෙන් නැතිවී යමින්, ඔවුන් තම ජීවිත කාලය පුරාම දැනසිටි සහ ඔවුන් තම නිවහන ලෙස හඳුන්වන එකම දෙය කෙමෙන් ඔවුන්ට අහිමි වෙමින් පවතියි.
2009 වර්ෂයේ දී යුද්ධය අවසන් වීම වයඹ සහ උතුරු ප්රදේශවල ප්රජාවන්ට නව අරගල මාලාවක් ඇති කළේ ය. වෙන්කර තැබීම, හුදකලා කිරීම සහ වෙනස්කොට සැලකීම අද දක්වාම අඛණ්ඩව පවතින අතර, එය අවිශ්වාසය පෝෂණය කරයි. අසාධාරණයන් නැවත නැවත සිදුවනු දුටුව ද, බොහෝ දෙනෙක් නීතිය ක්රියාත්මක කිරීම සමග සම්බන්ධ වීමට පසුබට වී ඇත්තේ, දෝංකාර දෙමින් පැතිරුණු විශ්වායසයක් වන, වාර්ගික පක්ෂග්රාහීත්වයට සහ වෙනස්කොට සලකනු ලැබීට භාජනය වනු ඇතැයි යන බිය නිසා ය. “ඒ මගේ ජාතිය නිසාද?” යන්න ඔවුන් මතු කරන මූලික ම ප්රශ්නයක් වේ. උතුරේ ජනතාව මහින්ද රාජපක්ෂ බලයට පත් වූ විට ප්රචලිතව තිබූ වැකියක් සිහිපත් කළහ: “ඔවුන් අපට පක්ෂපාතී නම්, අපි ඔවුන්ට පක්ෂපාතී වෙමු.” ප්රජාවකට රජයෙන් සාධාරණ සැලකීමක් ලැබීම එම ප්රජාව දේශපාලන චරිතයකට දක්වන ස්ථිර පක්ෂපාතීත්වය මත රඳා පවතින බව මෙයින් ඇඟවෙයි.
පශ්චාත් යුධ සමයේ අනෙකුත් වැඩසටහන් හා සමානව, නාවික හමුදාව හෝ යුධ හමුදාව විසින් මන්නාරම ප්රදේශයේ පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන, එම ඉඩම් ආරක්ෂිත ප්රදේශ බවට පරිවර්තනය කිරීම හෝ මහා පරිමාණ හා මධ්ය පරිමාණ ව්යාපෘතිවල සහ ආයතනවල සංවර්ධන වැඩසටහන් සඳහා යොදා ගන්නා බව නිරීක්ෂණය වේ. මේවා ජාතියට ප්රතිලාභ ගෙන දෙන විවිධ ස්වරූපයේ විසඳුම් ලෙස ඉදිරිපත් කරනු ලැබුවද, යථාර්ථය වන්නේ එමගින් ප්රාදේශීය ප්රජාවන්ට, වන ජීවීන්ට සහ ඔවුන්ට යැපීමට තිබෙන සියුම් පරිසර පද්ධතිවලට ඉන් ඇති කරන සැබෑ බලපෑම නොසලකා හැරීම යි.
වසර ගණනාවක් තිස්සේ, මේවාට එරෙහිව සහාය දක්වන ප්රජාවන් සහ සංවිධාන ඔවුන්ට හැකි මමිටමෙන් විවිධ ආකාරවලින් සහ ස්වරූපවලින් (විරෝධතා, වැඩ වර්ජන ආදී) සාමකාමීව විිරෝධය දක්වා ඇතත්, අසත්ය ප්රකාශ සහ වැරදි තොරතුරු පැතිරවීම ඉහළ යාම කනස්සල්ල වර්ධනය වීමට හේතුවී තිබේ. කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය ඔවුන්ට පවතින මෙම ගැටළු තවත් උග්ර කර ඇත.
එමෙන්ම, දේශගුණික විපර්යාස මගින් එල්ල වන තර්ජනය මෙම සංකීර්ණතාවය තවත් ස්ථරයකින් ඉහළ නංවා තිබේ. ශ්රී ලංකාවේ සන්දර්භය තුළ, මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස සලකා බැලීමේ දී, දේශගුණික විපර්යාස පිළිබඳව වර්තමානයේ තිබෙන සැලකිල්ල වර්ධනය වෙමින් පැවතියද, ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ විසමානුපාතික ආකාරයකට ය. තවද, තීරණ ගැනීමේ ක්රියාවලීන් තුළ සිදුවන ක්රියාවන් සහ ඒවායෙහි සාධාරණත්වය පිළිබඳ සලකා බැලීමේදී, වර්තමාන ප්රයත්නවල දිශානතිය සහ ඒවායෙහි අනාගත ප්රතිවිපාක පිළිබඳ කනස්සලු ඇති කරයි.
වැලි කැණීම
මන්නාරමේ පවතින සියුම් පරිසර පද්ධතියට වැලි කැණීම මගින් ඇති කෙරෙන බලපෑම එක් ප්රධානම ගැටළුවක් වේ. මන්නාරම් දූපත විශේෂයෙන්ම වසර ගණනාවක් පුරා දියවැල් හරහා එකතු වූ වැලි සහ වැලි කඳුවලින් නිර්මාණය වී තිබෙන අතර, එම වැලි කඳු ඛාදනය, කුණාටු හේතුවෙන් ඇතිවන රළ පහර සහ දිය රැළි ආදියෙන් දූපත ආරක්ෂා කරමින්, දේශගුණික විපර්යාස මගින් ඇතිවන බලපෑම්වලට, එනම් අධික වර්ෂාපතනය සහ ගංවතුර වැනි ආන්තික කාලගුණික රටා වල තීව්රතාවය සහ වාර ගණන වැඩි වීමට ඔරොත්තු දීමේ හැකියාව ලබා දෙයි (මාරඹේ ඇතුළු පිරිස, 2015; පුන්යවර්ධන ඇතුළු පිරිස, 2013).
එමෙන්ම, මන්නාරම් දූපත විශේෂයෙන් ම ගුවන් යානා කොටස්, තීන්ත, වර්ණක, ප්ලාස්ටික් වර්ග, සහ ක්රීඩා සහ වෛද්ය උපකරණ කොටස් ආදිය නිෂ්පාදනය කිරීම වැනි කාර්මික ප්රයෝජන රැසක් සහිත ඉතා වැදගත් ටයිටේනියම් ලෝපස් (ශක්තිමත් සැහැල්ලු ලෝහයක්) නැමති යකඩ-ඔක්සයිඩ් ඛනිජයක් වන ඉල්මනයිට් :ත්ැඔසධ3* වලින් පොහොසත් ඛනිජ වැලි සම්පත් සඳහා ද ප්රසිද්ධියක් උසුලන අතර, (තඹිලියගොඩගේ ඇතුළු පිරිස, (2021) සහ සිබුම් ඇතුළු පිරිස (2005), ඔස්ටේ්රලියානු වැලි කැණීම් සමාගමක් වන “ටයිටේනියම් සෑන්ඩ්ස් ලිමිටඩ්” නැමති සමාගම (මෙම සමාගමෙහි වෙබ් අඩවියට අන්තර්ජාලය ඔස්සේ පිවිසිය හැක) මෙය කෙරෙහි ඉතා දැඩි උනන්දුවක් දක්වයි.
වසර පහකට (5) අධික කාලයක් පුරා පෞද්ගලික සමාගම් සහ ආයතන නිහඩව ම මෙම ඉල්මනයිට් නිධිවලින් පොහොසත් පෞද්ගලික ඉඩම් අත්පත් කරගෙන ඇත. මෙම ක්රියාවලිය රහසිගත සහ ගුප්ත මෙහෙයවීම් වලින් ආවරණයවී ඇත. ඉඩම් අත්පත් කර ගැනීමට පෙර, ‘ජල මට්ටම් පරීක්ෂා කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ’ මුවාවෙන් සහ එසේ කරන බවට බොරු ප්රකාශ සිදුකරමින්, නැත හොත් මිනිසුන් බලහත්කාරයෙන් ඇතුළුවී, මෙම ඉඩම් අනාගත විදේශීය ආයෝජකයින්ට සහ අනෙකුත් සංවර්ධන ව්යාපෘති සඳහා ආර්ථික වශයෙන් ලාභදායී වන බැවින් එම ඉඩම් හිස් ඉඩම් ලෙස සංවර්ධනය නොකර තබා ගන්නා ලෙස ඉඩම් හිමිකරුවන්ට බලකරමින් සහ ඔවුන්ට රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු ලබා දෙමින් බොහෝ පරීක්ෂණ සහ ඇගයීම් සිදු කර ඇත. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකුට යථාර්ථය කිසිසේත් ම එවැනි ඇඟවීම් නොවේ.
“මේ වන විට, ඔවුන් ස්ථාන 3,500 - 4000 ක (හෙක්ටයාර 50,410 ක) කැණීම් සිදුකර තිබෙනවා. මෙම සමාගම් පොළොව මතුපිට සිට මීටර් 40 - 50 ක් දක්වා කැණීම් කරන නමුත් අපගේ ජලය හොඳ තත්ත්වයේ තිබෙන්නේ මීටර් 3 ක් දක්වා ගැඹුරට පමණයි; මීටර් නවයකට (9) වඩා ගැඹුරට ගිය පසු එය හොඳ තත්ත්වයේ නැහැ. වැලි දූපතක කැණීම් කළ විට සිදුවන දේ ඔබ දන්නවාද? අපට (මෙම දූපතට) පානීය අවශ්යතා සඳහා ළිං දෙකක් සහ නළ ළිං තිබෙනවා. එහෙත් මුහුදු වතුර උඩට ඇවිත් මෙම ජලය සමග මිශ්ර වුණොත් එය කිසිම මිනිසෙකුට හෝ සතෙකුට පානය කරන්න බැහැ; ඕනෑ වගාවක් විනාශ වෙලා යනවා, ඒවා නැති වෙලා යනවා, මැරිලා යනවා. මේ පෞද්ගලික සමාගම් ඔවුන්ගේ පරීක්ෂණ හෝ විමර්ශන සිදු නොකර ඔවුන් කියන බොරුවලට රජය සවන් දෙනවා.” යනුවෙන් ‘බි්රජිං ලංකා’ සංවිධානයේ නිර්මාතෘ ජෙරමි ලියනගේ පවසයි.
නැගෙනහිර පළාතේ පිහිටි පුල්මුඩේ ප්රදේශය ද ඛනිජ සඳහා වැලි ගොඩ දැමීමේ විනාශකාරී ස්වභාවය ඉස්මතු කර පෙන්වන තවත් උදාහරණයක් වන අතර, වෙනත් ස්ථානයකින් ගන්නා වැලි පිරවීමෙන් මෙම කලාපයට සහ එහි පරිසර පද්ධතියට සිදුවන්නේ යහපතකට වඩා හානියක් සහ ඛාදනය වීමකි. මන්නාරම ප්රදේශයේ තත්ත්වය බොහෝ කනස්සලු මතුකරයි; ‘භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය’ ප්රකාශ කරන අන්දමට මන්නාරමේ සිදුවන සිදුවීම් පිළිබඳව ඔවුන් දැනුවත්ව නොමැති අතර, එවැනි ක්රියාකාරකම් සඳහා බලපත්රයක් හෝ ලබා දී නැත. කෙසේ වෙතත්, ‘මන්නාරම පුරවැසි කමිටුවේ’ සාමාජික ජේම්ස් ජේසුදාසන් පවසන අන්දමට, විදේශයන්හි ක්රියාත්මක වන ටයිටේනියම් සෑන්ඩ්ස් ලිමිටඩ් නැමති සමාගම වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් ව්යාජ පොරොන්දු ලබා දෙමින් සහ ඔවුන් කියන දේ කරන, තෝරාගත් පුද්ගලයින්ට මුදල් ගෙවමින් රහසිගතව කැණීම් සිදුකර ඇත.
“අඛණ්ඩව කැණීම් සිදුකිරීම මන්නාරමේ (දූපතේ) විනාශය සහ එහි අවසානය වනු ඇත,” ජේම්ස් පවසයි.
බොහෝ මිනිසුන් පෞද්ගලික සමාගම්වල ව්යාජ පොරොන්දුවලට සහ ප්රකාශවලට රැවටී, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට තම ඉඩම් විකුණා හෝ බදු දී, රැකියා විරහිතභාවයට වැටී, කම්කරුවන් ලෙස වැඩ කිරීමට, ක්ෂුද්ර ණය ලබා ගැනීමට සහ ණයගැති භාවයට වැටීමට සිදුවී ඇති අතර, ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය ඔවුන්ගේ ප්රධානම කනස්සල්ල බවට පත්වී, තම අනාගතය ආරක්ෂා කර ගැනීම සඳහා සහ එයට ඇතිවන බලපෑම් පිළිබඳ ක්රියා කිරීමට හෝ සිතීමට නොහැකි තරමට තමන් අසරණ ය යන හැඟීම ඔවුන්ට ඇතිවී තබේ. පුද්ගලික ඉඩම් (90% ක් පමණ) ඉලක්ක කරගත් මෙම සමාගම් ඉතා වැදගත් තල් ගස් කපා ඉවත් කර, කැණීම් වලවල් අතහැර දමා විනාශයේ සලකුණු පමණක් ඉතිරි කර ඇත. 2022 වර්ෂයේ ඇතිවූ විනාශකාරී ගංවතුර බොහෝ දෙනෙකුගේ දෑස් විවර කළේය. ප්රදේශවාසීන් බාධාවකින් තොරව සිදුවූ මෙම සූරාකෑමෙන් ඇතිවූ විනාශය දුටු විට ප්රජාව තුළින් ඇතිවූ විරෝධතා රැල්ල හේතුවෙන් ඇතැම් පුද්ගලික කැණීම් මෙහෙයුම් වසා දැමීමට සිදුවූ නමුත්, වෙනත් විවිධ ව්යාපෘති සිදුකරන මුවාවෙන් තවත් බොහෝ මෙහෙයුම් බිහිවෙමින් පවතියි.
භූ දේශපාලනික ඉලක්කයක් ලෙස ඕස්ටේ්රලියාව, චීනය, දකුණු අප්රිකාව සහ ඉන්දියාව ඇතුළු බොහෝ විදේශ රටවල් මන්නාරම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. කෙසේ වෙතත්, ශ්රී ලංකා රජය මෙම සූරාකෑම් සිදුවීම අනුමත කිරීම පුරවැසියන්ව අවතැන් කර, ඔවුන්ගේ අනාගතය අනතුරේ දමමින්, මෙම දූපතේ ස්වභාවික ආරක්ෂක පද්ධතිවල අසමතුලිතතාවයක් ඇති කරමින්, පරිසර පද්ධති විනාශ කරයි.
සුළං ටර්බයින
පළමුවෙන්ම අපි සුළං ටර්බයින යනු මොනවාදැයි අවබෝධ කර ගනිමු. සුළං ටර්බයිනයක් යනු චාලක (සුළං) ශක්තිය පෙතිවල භ්රමණය වීම හරහා විද්යුත් ශක්තිය බවට පරිවර්තනය කරන, සංරචක ගණනාවකින් සැදුම් ලත් උපාංගයක් වේ. සාමාන්ය සුළං ටර්බයිනයක ආයු කාලය වසර 20 - 25 ක් පමණ වන අතර, සෑම මාස හයකට (6) වරක්ම එහි සාමාන්ය නඩත්තුව සිදු කළ යුතුය. සුළං ටර්බයින ඉදිකිරීමේ සංකීර්ණතා ඉතා හොඳින් සලකා බැලිය යුතුය. කෙසේ වෙතත්, මෙමගින් එහි වටපිටාවට ඇතිවන ප්රතිවිපාක පිළිබඳ නිසි සැලකිල්ල නොදක්වා ක්රියාත්මක කළ හොත්, “තිරසාර සංවර්ධනය” යන්නෙහි අර්ථය මතභේදාත්මක විය හැක, නැත හොත් අර්ථ විරහිත වේ.
දේශගුණික විපර්යාසවල බරපතලකම සහ ෆොසිල ඉන්ධනවලින් ඈත්වීම හරිත විසඳුම් යැයි කියා ගන්නා ව්යාපාර සඳහා බොහෝ දොරටු විවර කර ඇති නමුත්, ඒ හරහා සිදුවන සැබෑ තිරසාරභාවයට වඩා ලාභය ප්රමුඛ කරගත් “හරිත සෝදාහැරීම්” හානිකර තත්ත්වයන් ඇතිවීමේ ප්රවණතාවයක් පෙන්නුම් කරයි. මන්නාරමේ ක්රියාත්මක කර ඇති සහ තවදුරටත් ක්රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ සුළං බල ව්යාපෘති මගින් මෙය පැහැදිලිව පෙන්නුම් කරයි. මෙය පිවිතුරු බලශක්ති විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති නමුත්, මෙම ව්යාපෘතිය බරපතල ගැටළු මතු කරන අතර, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද සිදු කරයි.
මේ වන විට, නඩුකුඩා වෙරළ තීරයේ කිලෝමීටර 12.5 ක දුරක් ඔස්සේ පැතිරුණු සුළං ටර්බයින 30 ක් සවි කර තිබෙන අතර (ෂ වෙනි අදියර), 2014 වර්ෂයේ දී මෙහෙයුම් ආරම්භ කර 2020 වර්ෂයේ දී නිල වශයෙන් විවෘත කරන ලද එය ‘තම්බපවනි සුළං විදුලි බලාගාර උද්යානය’ ලෙස හඳුන්වනු ලබයි (ඊ.ඩී.එෆ්. එනර්ජි සමාගමට අනුව, සාමාන්යයෙන් මෙ.වො. 100 ක සුළං ටර්බයින සංකීර්ණයක් ස්ථාපනය කිරීමේ ක්රියාවලියක් සඳහා වසර 1 - 2 ක් ගත වේ). ෑෘත් බලශක්තියට අනුව 100ඵඋ ගොවිපලක් සඳහා වසර 1-2). ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්යාංශය විසින් ක්රියාත්මක කරන ලද මෙම ව්යාපෘතිය, ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය මුදලක් යටතේ ඉදි කරන ලද අතර, වෙස්ටාස් ඒසියා පැසිෆික් සමාගම එහි ඉදිකිරීම් කටයුතු සිදු කළේය. දුර්වල ලෙස ඇගයීම සිදු කරන ලද මෙම ව්යාපෘතියේ ‘පාරිසරික බලපෑම් තක්සේරුව’ අනුව, සැලකිල්ල යොමු කළ යුතු බොහෝ තත්ත්වයන් පිළිබඳව හෝ එම ප්රදේශයේ පදිංචිව සිටි ජනතාවගේ අදහස් දැක්වීම් පිළිබඳ විස්තර හෝ එම වාර්තාවේ නිශ්චිතව සඳහන් කර නැත. මෙම සුළං බලාගාරය සඳහා යොදාගත් මුළු භූමි ප්රමාණය ද සඳහන් කර නැත.
මන්නාරමේ වෙස්ටාස් සුළං ටර්බයින
“මෙම ටර්බයින ඉදිකළ දිනයේ සිටම, ප්රදේශයේ අසීමිත වාර ගණන් සිදු කෙරෙන මඩ කැණීම් නිසා අපි බෝතල් කළ ජලය පානය කිරීමට පුරුදු වෙලා ඉන්නෙ. මේ යටතේ අපගේ පදිංචිකරුවන් ඇතුළු බොහෝ පරිසර පද්ධති වලට ඉතා වැදගත් වූ ස්වාභාවික ජල මාර්ග 14 ක් අවහිර කරල තිබෙනවා.” යනුවෙන් ජෙරමි මහතා පැවසුවේය. ගංවතුර ගැලීම මන්නාරම් ප්රදේශයේ නිතර සිදුවූවක් නොවීය; අවසන් වරට ගංවතුර ගැලීමක් සිදුවී ඇත්තේ 1964 තරම් ඈත කාලයේදී ය. කෙසේ වෙතත්, 2022 වර්ෂයේ දී (මාස 3 ක කාලයක් පැවති) ගංවතුර අත්විඳීමට සිදුවීම බොහෝ දෙනා කම්පනයට පත් කළේ ය. දැන් වෘක්ෂලතා සහ ජලජ වාසස්ථාන විනාශ කරමින්, ජීවනෝපායන්ට හානි කරමින්, ජීවිත වලට අනතුරු, රෝග සහ අවහිරතා ඇතිකරමින් මෙම ව්යවසනය වාර්ෂිකව සිදුවනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේි. මෙම ටර්බයින වලින් සිදුවන කම්පනය සහ සෙවණැලි චලනයවීම හේතුවෙන් මසුන්ගේ අඩුවීමක් තිබෙන බව ප්රදේශයේ ධීවරයෙක් පැවසුවේය.
සුළං ටර්බයින ඉදිරිපස, නඩුකුඩා වෙරළ.
“මේ ටර්බයින වලට ඉඩකඩ හදාගන්න ඔවුන් අපේ ගස් කපල ඉවත් කරලා මේ වැලි සියල්ල ඉවත් කරන්න කැනීම් කරනවා. නමුත් ඉන් පස්සෙ මේ වැලි යන්නේ කොහේටද?” ජේම්ස් මහතා පෙන්වා දුන්නේය. ඛනිජ සම්පත් බහුල පස් සහිත භූමියක් ලෙස හඳුනාගෙන තිබෙන මන්නාරමට මෙම ව්යාපෘති නැවත ගෙන ඒම තුළ සැඟවුණු යටි අරමුණු තිබේද යන කනස්සල්ල මතු කරයි.
වර්තමානය
“මන්නාරම යනු සංචාරක පක්ෂීන්ගේ මධ්යම ආසියානු පියාසර මාර්ගයේ පිහිටි අතිශය වැදගත් ශීත ඍතු නවාතැන් අඩවියක් ලෙස වෙට්ලන්ඩ්ස් ඉන්ටර්නැෂනල් සහ බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් යන සංවිධාන විසින් හඳුනාගෙන ඇති අතර, රැම්සාර් සම්මුතිය මගින් එය ජාත්යන්තර වැදගත්කමකින් යුත් තෙත් බිමක් ලෙස ද පිළිගෙන ඇත. සංචාරක පක්ෂීන්ගේ මධ්යම ආසියානු පියාසර මාගර්යට ආසියාවේ සහ යුරෝපයේ රටවල් 30 ක් ආවරණය වන අතර, එහි දකුණු කෙළවර වන්නේ ශ්රී ලංකාවයි. එමෙන්ම, මෙම ප්රදේශය මුහුදු පක්ෂීන් විශේෂ අටක් සඳහා අභිජනන වාසස්ථාන ද සපයා දෙන අතර, ඔවුන්ගෙන් බොහොමයක් තර්ජනයට ලක් වූ විශේෂ සහිත ජාතික රතු ලැයිස්තුවේ දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති විශේෂ ලෙස නම්කර ඇත. ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංක්රමණික විශේෂ පිළිබඳ සම්මුතියට අත්සන් කර ඇති රටකි. එබැවින් ශ්රී ලංකාවට පැමිණෙන විශේෂ දෙසිය පනහකට (250) අයත් කුරුල්ලන් මිලියන 15 ක් පමණ ආරක්ෂා කර ගැනීමේ ගෝලීය වගකීමක් අපට තිබේ. මන්නාරමට පමණක් විශේෂ එකසිය පනහකට (150) අයත් පක්ෂීන් මිලියනයක් පමණ පැමිණෙයි.” (මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, 2024, ග්රවුන්ඩ්විව්ස් වෙබ්අඩවියේ පළවූ ලිපියක).
මෙයට පෙර සවි කර ඇති සුළං ටර්බයින හේතුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමේ ව්යාපෘතිය අධීක්ෂණය කරන පරිසර නිලධාරීන් එය ක්රියාත්මක කර වසර එකහමාරක කාලයක් තුළ සුළං පෙතිවල ගැටීමෙන් දළ වශයෙන් පක්ෂීන් 400 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා කළහ. මුලදී මෙවැනි බලපෑම් පිළිබඳව ප්රදේශවාසීන්ට නොපවසන ලද්දේ ඔවුන් මෙයට විරුද්ධ වුව හොත් රටේ සෙසු ජනතාව ද මෙයට සහාය නොදක්වනු ඇතැයි බියවූ බැවින් ය. දැන් ඔවුන් මෙම ව්යාපෘති ක්රියාත්මක කර විවිධ මට්ටම්වලින් සිදුවන විනාශයන් අත්විඳිමින් සිටිති.
මේ වන විට ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරිය මෙම සුළං බල ව්යාපෘතියේ ෂෂ වෙනි අදියර ආරම්භ කරමින් සිටින අතර, මෙම ව්යාපෘතිය ඉන්දියානු බහුජාතික ව්යාපාර සමූහයක් වන (වරාය සහ ගුවන් තොටුපළ කළමනාකරණය, විදුලි උත්පාදනය සහ සම්ප්රේෂණය, පතල් කැණීම්, ස්වභාවික වායු, ආහාර, ආයුධ සහ යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්රවල ව්යාපාර සිදුකරන) අදානි සමාගමට ලබා දී තිබේ. ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශයේ රාජ්ය නිලධාරීන් විසින් එම සමූහයට මෙම ව්යාපෘතිය ලබා දීම අනුමත කර තිබේ. මේ අතර, විශේෂයෙන්ම ඉන්දියාව 2022 වර්ෂයේ ආර්ථික අර්බුදය පැවති කාලය තුළ ශ්රී ලංකාවට ඩොලර් බිලියන 4 ක ණය මුදලක් ලබා දීමෙන් පසුව, ඉන්දියානු-ශ්රී ලංකා සාගරයෙහි භූ දේශපාලනික පෙනීසිටීමෙහි වර්ධනය වීමක් නිරීක්ෂණය වේ.
අනාගතය
මෙම ව්යාපෘතිය යටතේ, මෙගාවොට් 250 ක ධාරිතාවක් උත්පාදනය කිරීම සඳහා පැයට කිලෝමීටර 100 ක පමණ වේගයෙන් කැරකෙවෙන මීටර් 96 ක පෙති සහිත සුළං ටර්බයින 52 ක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙන අතර, එක් ටර්බයිනයක් සඳහා අක්කර 7 ක් (මීටර් 170 ඞ 170) බැගින් වෙන් කර ඇත. එය බොහෝ කනස්සලු මතු කර තිබේ. අදානි සමූහයට නොසැලකිලිමත් ලෙස පාරිසරික හානි සිදු කිරීම, දූෂණය, අල්ලස, අසාධාරණ ව්යාපාරික පිළිවෙත් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුළු බොහෝ වැරදි ක්රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත (අදානි ආර්කයිව්ස්: https://adanifiles.com.au/#adani-group&'
මන්නාරමේ ප්රදේශවාසීන්ට මෙම දූපත සමග විශේෂ පොදු බැඳීමක් තිබේ. “මෙම භූමිය වසර ගණනාවක් තිස්සේ මෙහි ජීවත් වූ සහ මෙය රැකබලා ගත් මිනිසුන්ට අයත් වේ. මෙය ‘රන් බිජු දමන කිකිළියක්’ ලෙස හඳුන්වයි. මෙම දූපත සංචාරක ප්රදේශයක් ලෙස භාවිතා කළ හැකි නමුත් රජය ඒ කෙරෙහි අවධානය යොමු නොකරයි. එසේ නම්, සංවර්ධනය යනු කුමක්ද? ජනතාවගේ ජීවනෝපාය සහ පරිසර පද්ධති විනාශ වන්නේ නම් එය සංවර්ධනය ලෙස හැඳින්විය හැකිද? විකල්ප විසඳුම් සහ විකල්ප ප්රදේශ බොහෝ තිබේ නම්, මෙම ප්රදේශයම තෝරාගත්තේ ඇයි? ගිහින් කියන්න මන්නාරම අයිති ඉන්දියාවට කියලා!” ඇලන් කෲස්; මන්නාරමේ ධීවරයෝ.
මෙම ඉඩම් බදු දී හෝ ඉහළ මිලකට විකුණා ඇති බවත්, රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වුවත්, ඒවායින් රැකියා හෝ සිදු වූ විනාශය සඳහා වන්දි හෝ නොලැබුණු බවත් මන්නාරමේ ධීවර ප්රජාවගේ සංගමයේ සභාපති අරුල් සීරම් මිරැන්ඩා සඳහන් කළේය. ඔවුන්ට මුහුණදීමට සිදුවූ කරදරවලට (කොවිඩ්-19 වසංගතය, ආර්ථික අර්බුදය ආදියට) අමතරව ඇතිවූ නොයෙකුත් ගැටළු වලින් බේරීම සඳහා බොහෝ අය ණය ගැනීමට සහ තම පෞද්ගලික ඉඩම් සහ ස්වර්ණාභරණ විකිණීමට පෙළඹී ඇති බව ඔහු පැවසුවේය. රජය විසින් මෙම ව්යාපෘති ගෙනඑන නිසා ඒවාට විරුද්ධව ප්රතිචාර නොදැක්වීමට සහ තමන්ගේ කනස්සලු පිළිබඳව කථා නොකර සිටීමට තමන් බැඳී සිටින බව බොහෝ දෙනෙක් සිතති. “රජය ඔවුන්ගේ සංවර්ධන ව්යාපෘති ආරම්භ කළ දා පටන් අපගේ දුක්ඛිතභාවය ආරම්භය වී තිබේ” යනුවෙන් ඔවුහු පෙන්වා දුන්හ.
මේ වන විට, ඇතිවී තිබෙන බොහෝ ගැටළු සහ මෙම ඉඩම් බදු දීම සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහ වගවීමක් නොමැතිකම හේතුවෙන් බොහෝ පරිසරවේදීන්, සංවිධාන සහ නීතීඥයින් (පරිසර යුක්ති කේන්ද්රය, වනජීවී ස්වභාව ආරක්ෂණ සංගමය, සීමාසහිත පාරිසරික පදනම ආදිය) විසින් අදානි ග්රීන් එනර්ජි ගෲප් සමාගමට එරෙහිව මහජන අර්ථසාධක නඩුකර ඇතුළුව මෙම ව්යාපෘතියට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් ගොනු කර ඇත. මන්නාරම දූපතේ පීඩාවට පත් ඉඩම් හිමියන් සඳහා කිසිදු තොරතුරක් හෝ වන්දියක් ලබා දී නැත.
මෑත කාලයේ නිකුත්කරන ලද වාර්තාවක (23.06.24), ගටළු කිහිපයක් මතුකරමින් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදානි සුළං බල ව්යාපෘති යසඳහා අනුමැතිය ලබාදීම ප්රතික්ෂේප කර ඇත. ඉන්දියාව සමග ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම පිළිබඳ විස්තර, අදාළ අනුමැතීන්, පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා, සහ මධ්යම පරිසර අධිකාරියෙන් ලබාගත් බලපත්ර ඇතුළු ප්රධාන ලියවිලි ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමට ඇතුළත් කර නොතිබුණි. මෙම ව්යාපෘතිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඵලදායී ලෙස ක්රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අධ්යයනයක ප්රතිඵල සමග, මෙම ඉදිරිපත් කර නොමැති තොරතුරු ද ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇත.
වෙඩිතල්තිව් ස්වභාව රක්ෂිතය
වෙඩිතල්තිව් වනාන්තර ප්රදේශයේ තිබෙන පාරිසරික වැදගත්කම නිසා එය ආරක්ෂාව අවශ්ය කරන වනාන්තරයක් ලෙස ක්රමෝපායික පාරිසරික තක්සේරුව මගින් හඳුනාගන්නා ලද අතර, එය 2016 වර්ෂයේ දී අංක 1956/13 දරන ගැසට් පත්රය මගින් හෙක්ටයාර 29,000 ක ප්රදේශයක් ආවරණය වන පරිදි ස්වභාව රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී. වන්කාලෙයි අභයභූමියට ආසන්නව පිහිටි මෙය නිල් කාබන් පරිසර තුනෙන් ම, එනම් ලවණ වගුරු බිම්, මුහුදු තෘණ සහ කඩොලාන වලින් සමන්විත වන, තෙවැනි විශාලතම සමුද්රීය ආරක්ෂිත ප්රදේශය වේ. මෙම රක්ෂිතය අතිශය වැදගත්, කාබන් අවශෝෂණය කරගන්නා පරිසරයක් ලෙස ක්රියා කරමින් දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමට උපකාරී වන අතර, එහි ඉතා පොහොසත් ජෛව විවිධත්වය අප්රමාණ ජීවී විශේෂ සංඛ්යාවකට වාසස්ථාන සපයමින්, ජීවනෝපාය සඳහා සහාය වෙමින්, අපගේ වෙරළ තීරයට ආපදාවලින් ආරක්ෂාව සපයයි.
කෙසේ වෙතත්, මෙම ස්වභාව රක්ෂිතය ඒකවගා ගොවිතැන් යාන්ත්රණ, මෙහිදී ජලජීවී වගාව, වර්ධනය වීම හේතුවෙන් නිරන්තර තර්ජනයට ලක්ව ඇත. ඉස්සන් වගා කිරීම සඳහා ‘තැප්රොබේන් සී ෆුඩ්’ නම් වූ ඉස්සන් වගා කරන සමාගම 2016 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර, එය මුලදී ප්රදේශයේ ධීවර ප්රජාවන්ට සහාය ලබා දුන්නේය. කෙසේ වෙතත්, මෙම ඉස්සන් ගොවිපළ වලින් කිසිදු පිරිපහදු කිරීමකින් තොරව, විශාල වශයෙන් ජලජ ජීවීන් මරණයට පත්කරමින් සහ පරිසරය හායනය කරමින් අභයභූමියට අපද්රව්ය මුදාහරිනු ලබන බවට මෙම ගොවීන් විසින් හඳුනා ගෙන ඒ පිළිබඳ කනස්සල්ල පළ කළ විට, ඔවුන්ගේ ජීවිත ගත කිරීම දුෂ්කර බවට පත්කරන ලදී. “2019 වර්ෂයේ දී මාළු මිලියන 3 ක් මිය ගිය බව අපි දුටුවා, අපි එය වාර්තා කරගෙන අන්තර්ජාලය ඔස්සේ එය ඉස්මතු කළා; නමුත් එවිට අපව වහාම සේවයෙන් පහ කරනු ලැබුවා. ඉන් පසු අපි ණයවලට හිරවී කිසිදු ක්රියාමාර්ගයක් ගැනීමට නොහැකිව අසරණ වුණා” යනුවෙන් ධීවරයෙක් පැවසුවේය. 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 2 වෙනි වගන්තිය අනුව, “කිසිදු පුද්ගලයෙක් ශ්රී ලංකාවේ ජලමූලාශ්රවලට කාර්මික හෝ ගෘහාශ්රිත අපද්රව්ය සෘජුව හෝ වක්රව මුදා හැරීම නොකළ යුතු ය” යනුවෙන් නියම කර ඇති බවද සඳහන් කිරීම වැදගත් වේ. 2023 වර්ෂයේ දී, තැප්රොබේන් සීෆුඩ් සමාගම සහ එක්සත් ජනපදයේ ඩිරෙක්ට් සෝර්ස් සීෆුඩ් සමාගම ශ්රී ලංකාවේ මුහුදු ආහාර නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම සහ එක්සත් ජනපදය තුළ විකිණීම සඳහා හවුල්කාරිත්වයකට එළඹුණේය.
මේ වන විට, අත්යාවශ්ය අනුමැතීන් ලබා නොගෙන සහ ගැසට් පත්රයේ ප්රසිද්ධියට පත් නොකර, ජලජ කර්මාන්ත උද්යානය සඳහා වෙඩිතල්තිව් ස්වභාව රක්ෂිතයේ කොටසක් නිදහස් කරමින් අමාත්ය පවිත්රා වන්නිආරච්චි විසින් අත්සන් කරන ලද අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කර ඇත. මේ සඳහා අක්කර 476 ක් වෙන් කර ඇති බව මෑතක දී ප්රවෘත්ති ලිපියක සඳහන් කරන තුරුම, නිදහස් කරනු ලබන ප්රදේශය, ප්රමාණය සහ ඒ සඳහා සාධාරණීකරණය වැනි ඉතා වැදගත් තොරතුරු මහජනතාවට හෙළි කර නොතිබුණි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව, ස්වභාව රක්ෂිතයේ කිසියම් කොටසක් ගැසට් පත්රයේ පළකර නිදහස් කිරීමට පෙර පාරිසරික තක්සේරුවක් සිදුකිරීම අනිවාර්ය වන නමුත් මෙම ක්රියාවලියේ දී එය සිදු කර නොතිබුණි. විනිවිදභාවය, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ වගවීම යටපත් කරමින් සහ හරිත සෝදාහැරීම හරහා හරිත ධනවාදයට මග පාදමින් ගනු ලැබූ මෙම තීරණයෙහි සැබෑ අරමුණු සහ අභිප්රායන් මොනවාද යන්න පිළිබඳ බොහෝ කනස්සලු මතු වෙයි.
ඉන්දියානු ට්රෝලර් යාත්රා සහ උතුරේ ධීවර ප්රජාව
“ඉන්දියානු ට්රෝලර් යාත්රා මන්නාරමේ ප්රජාවගේ ජීවිතවලට ද බලපෑමක් ඇති කරයි; තමන්ගේ දෑත් බැඳ ඇති බව රජය පවසයි. නීතිය බලාත්මක කරන ආයතන තිබෙන්නේ ප්රදේශවාසීන්ට සහයෝගය දැක්වීමට බවක් නොපෙනෙයි.” යනුවෙන් ජෙරමි පවසයි.
ධීවර ආම්පන්න කට්ටලයක් රු. 50,000 ක් පමණ වන බවත්, තමන්ට එවැනි කට්ටල 15 - 20 ක් පමණ අවශ්ය වන බවත් උතුරේ ප්රධානම ධීවර කර්මාන්ත ප්රදේශයක් වන පේසාලේ ප්රදේශයේ ධීවරයින් ප්රකාශ කළහ. තමන්ගේ ආම්පන්න සඳහා දළ වශයෙන් රු. 10,000/ ක් අවශ්ය බව තවත් ධීවරයෙක් පැවසුවේය. කෙසේ වෙතත්, එය ධීවර දැලක එක් කොටසක මිල පමණි. ධීවර දැල් සහ ආම්පන්න සඳහා දැරීමට සිදුවන විවිධ පිරිවැය කෙතරම් ඉහළද යන්න මෙයින් පෙන්නුම් කෙරෙයි. සවස 6.00 - 7.00 ට පමණ මුහුදට යන ඔවුන් ආපහු එන්නේ උදෑසන 5.00 - 6.00 ට පමණ. නාවික හමුදාව එහි සිටින නමුත් ඔවුන් ප්රදේශීය ධීවරයින්ට කිසිදු ආරක්ෂාවක් ලබා දී නැත. ඉන්දියානු ධීවරයින්ගේ මැදිහත්වීම් සහ ඔවුන්ගේ එන්ජින්වල තාක්ෂණය මෙම ධීවරයින්ට තමන් අසරණය යන හැඟීම ඇති කරයි.
මසුන් ඇල්ලීමෙන් ජීවිකාව ගෙන යන පවුලක මවක් ඔවුන් එදින අල්ලාගත් මසුන් ප්රමාණය පෙන්වමින් “මෙය ප්රමාණවත්ද?” යනුවෙන් ඇසුවාය.
දේශීය ධීවරයින්ගේ බෝට්ටු (ප්ලාස්ටික් හෝ ෆයිබර්) හා සංසන්දනය කරන විට, ඉන්දියානු ට්රෝලර් යාත්රා සහ එන්ජින් තාක්ෂණයෙන් ඉතා දියුණු, ප්රමාණයෙන් වඩා විශාල සහ සංඛ්යාවෙන් වැඩි වන අතර, ඔවුන් ධීවර ආම්පන්න විනාශ කිරීම හෝ ඉවතට ඇදීම වැනි විනාශකාරී ආකාරවලින් ක්රියා කර පිටව යති.
ශ්රී ලංකා ධීවර බෝට්ටු, පේසාලේ වෙරළ
ට්රෝලර් යාත්රා යනු තාක්ෂණයෙන් ඉතා දියුණු යාත්රා වන අතර, ඒවා යොදා ගනිමින් මෙම ධීවරයන්ගේ යාත්රාවලට බාධා කරමින් ඔවුන් මසුන් ඇල්ලීමෙහි නිරත වෙති. ඔවුන් සාගර පත්ල දිගේ දැලක් ඇදගෙන යමින්, පත්ලේ සිටින මාළු හෝ කකුළුවන් වැනි ඉලක්කගත මත්ස්ය විශේෂ එක්රැස් කර අල්ලා ගන්නා ක්රමයක් වන බොටම් ට්රෝලිං ක්රමය යොදා ගනිති. තවද, එමගින් මුහුදු පත්ල හෑරීයාමක් සිදුවන අතර, එය මුහුදු පත්ලේ ස්වභාවික වාසස්ථාන විනාශ කරමින්, කොරල්පර සහ පැලෑටි වැනි මුහුදු පතුලේ වාසය කරන අසංඛ්යාත ශාක හා අනෙකුත් ජීවින්ට ද බලපෑමක් ඇති කරයි.
මන්නාරම ධීවර කමිටුවේ සභාපති යෝගරාජ් කෲස් මහතා එම ප්රදේශයේ ධීවර ප්රජාව මුහුණ දෙන ගැටලු රාශියක් පෙන්වා දුන්නේය. “අපි මුහුදට ගිය විට, එය අනතුරුදායකයි; එය විවිධ තර්ජන සහ අවදානම් වලින් පිරී තිබෙනවා; නමුත් අපේ මුහුද අපට පූජනීයයි; අප සමීපයේ විවිධ මාළු වර්ග රාශියක් සිටීම අපට ආශීර්වාදයක්; නමුත් මෙම කැණීම් සහ වෙනස්වීම් සිදුවීම ආරම්භ වූ විට, එම මාළු වෙරළ තීරයෙන් දුරස්වෙන්න පටන් ගත්තා. මෙහෙට පැමිණෙන ඉන්දීය ධීවරයින් මෙම ප්රදේශයේ සියලුම මාළු අල්ලා ගන්නවා, මාළු පැටවුන් පවා අල්ලා ගන්නා නිසා මාළු අස්වැන්න අඩුවෙමින් තිබෙනවා. අපි සතියකට දින 6 ක් වැඩ කළා, නමුත් දැන් බාධා කිරීම් වැඩි නිසා අපි නිවාඩු ගන්න දින ගණන වැඩිවෙලා තියෙනවා. ඉන්දියානු බෝට්ටු සමග ගැටීමෙන් හානි වුණු අපේ බෝට්ටු අලුත්වැඩියා කරගන්න සහ ඒවා රැකබලා ගන්න අපිට වැඩි කාලයක් ගත කරන්න සිදු වෙලා තියෙනවා.
ධීවර ප්රජාවේ පවුල් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත්, එම පවුල්වල කාන්තාවන්ට නිවෙස් කටයුතු ඉටුකිරීමේ දී සහ දරුවන් රැකබලා ගැනීමේදී පවුලේ ප්රමුඛතම කාර්යභාරයක් ඉටුකිරීමට සිදුවී තිබෙන බවත් අවධාරණය කිරීම වැදගත් වේ. එම නිසා ඔවුන්ට, කුලීවැඩ කරමින් සහ පෙර සහ පසු අස්වනු කාර්යයන්හි නිරත වෙමින් විවිධ රැකියා කිරීමට සිදුවී ඇති අතර, ප්රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ට බොහෝ දුර පයින් ඇවිද ගොස් හමුදා මුරපොළ හරහා ගමන් කිරීමට සිදුවී තිබේ. ළමයින්ගෙන් බොහෝ දෙනෙක් විශේෂයෙන් ම වසංගතය පැවති කාලය තුළ ඔවුන්ට අවශ්ය සම්පත්වල මිල දැරිය නොහැකි වීම හේතුවෙන් තම පවුල් නඩත්තු කිරීම සඳහා සහායවීම පිණිස පාසලෙන් ඉවත් වූහ. “අපට බයිසිකලයක් පාවිච්චි කරන්න පවා වියදම් දැරිය නොහැකියි” යනුවෙන් එම ප්රජාව නියෝජනය කරන කාන්තාවක් පැවසුවාය.
“අපි මේ දූපත ආරක්ෂා කර ගත්තොත් රටේ සෑම කෙනෙකුටම දියුණු වෙන්න පුළුවන්” යනුවෙන් මන්නාරම ධීවර ප්රජා කමිටුවේ අනුකමිටු සාමාජික ස්ටීවන් කෲස් පැවසුවේය.
අවසාන සිතුවිලි
‘නිල් කාබන්’ ලෙස වර්ගීකරණය කර ඇති විවිධ සමුද්රීය පරිසර පද්ධතිවලට වාසස්ථාන සපයන, මෙරට තුන්වෙනි විශාලතම ආරක්ෂිත ප්රදේශය වන (රැම්සාර් වැනි ජාත්යන්තර සම්මුති මගින් ආරක්ෂා කර ඇති අතිශය වැදගත් පරිසර තීරයක් වන) මන්නාරම ප්රදේශයට මධ්යම ආසියානු පියාසර මාර්ගය ඔස්සේ සංක්රමණික පක්ෂීන් මිලියන ගණනක් පැමිණීම සැලකීමේ දී මෙම ප්රදේශය පාරිසරික අතින් අතිශය වැදගත්, ජීවීන් සංකීරණත්වය අතින් ඉතා පොහොසත් පරිසරයක් ය යන්න ප්රතික්ෂේප කළ නොහැකි කරුණකි. මෙහි තිබෙන මෙම සුවිශේෂී සහ විවිධත්වයෙන් යුක්ත වූ සත්ව සහ වෘක්ෂලතා විශේෂ මුහුණ දී ඇති තර්ජනය මෙහි ඇති වැදගත්කම අවධාරණය කරයි. විවිධ ජාත්යන්තර සම්මුති වලට අත්සන් කර ඇති ශ්රී ලංකාවට මෙවැනි වැදගත් පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමේ වගකීම ඇත.
මෙලෙස සිදුවන සූරාකෑම පරිසරය විනාශ කරනවා පමණක් නොව, මෙම දූපතේ ජීවත්වන වැසියන්ගේ මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය කරයි. ධීවර කර්මාන්තය පිරිහීයාමත් සමග පෝෂ්යදායී ආහාර මූලාශ්ර සඳහා තිබෙන ප්රවේශය අඩු වන අතර, ලුණු ජලය ඇතුල්වීම වැඩිවීමත් සමග පිරිසිදු පානීය ජලය සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්වී තිබේ. බෝතල් කළ ජලය පානය කිරීම ඉහළ යාමත් සමග ප්ලාස්ටික් අපද්රව්ය ප්රමාණය වැඩි වන අතර එය මෙම දුර්වල පරිසර පද්ධතියට තවත් අමතර බරක් වේ.
මන්නාරම් දූපත ඉතාමත් තීරණාත්මක අවධියකට පැමිණ තිබෙන බව පෙනෙයි. එය එහි පරිසරයට සහ මිනිසුන්ට ගරු කරන, අව්යාජ තිරසාර සංවර්ධනයේ පහනක් බවට පත්වේවිද? එසේත් නැත හොත්, එය හරිත ධනවාදයේ සූරාකෑමේ පිළිවෙතට යටත්වනු ඇත්ද? මන්නාරමේ සහ එවැනි අසංඛ්යාත වූ පරිසර පද්ධතිවල අනාගතය ඒ මත රඳා පවතියි.
මෙම සූරාකෑම ආර්ථික දුෂ්කරතාවලින් ඔබ්බට විහිදී යයි. පිටස්තර පුද්ගලයින්ගේ පැමිණීම සහ සම්ප්රදායික ජීවනෝපායන් බිඳ දැමීම මත්ද්රව්ය භාවිතය පිළිබඳ ගැටලු ඉහළ යෑමට හේතු වී ඇති අතර, එය මෙම දූපතේ ප්රජාවන්ගේ අනාගතය අනතුරේ හෙළන්නක් වේ. මෙම ද්රෝහී ප්රවණතාවය මන්නාරමේ පරිසරය පමණක් නොව, එහි සමාජයේ ව්යූහය ද විනාශ කරයි.
“හරිත” හෙවත් “සංවර්ධන” ව්යාපෘති බරපතල ප්රශ්න මතු කරයි. එවැනි සූරාකෑම්වලට සහ හායනයවීම් වලට ඉඩ සලසන පාරිසරික නීතිවල තිබෙන කුහකත්වය එම නීතිවල ආරක්ෂාව මත යැපෙන ජීවිතවලට සැබවින්ම ප්රතිලාභයක් අත්නොකරන බව පෙනෙයි. පරිසර පද්ධති විනාශ කරන සහ ප්රාදේශීය ප්රජාවන්ගේ ජීවනෝපාය නොසලකා හරින ව්යාපෘතියක් සැබවින්ම තිරසාර ව්යාපෘතියක් ලෙස සැලකිය හැකිද? හරිත ධනවාදයේ මෙම වර්තමාන ස්වරූපය අව්යාජ පාරිසරික ආරක්ෂාවට වඩා ලාභයට ප්රමුඛත්වය දෙන බව පෙනෙයි. වගකිවයුතු සංවර්ධනයේ මූලික පදනමක් වන දේශීය උපදේශකත්වය මෙහි නොමැති බව පෙනෙයි. මෙම ප්රජාවන්ගේ කනස්සලුවලට වාර්තාවල පිළිගැනීමක් හෝ ලබා දී තිබේද?
කෙසේ වෙතත්, මෙම ක්රියාමාර්ගවල වර්තමාන ගමන් පථය මෙම සියුම් සමතුලිතතාවයට තර්ජනයක් වේ. වැලිකඳු සහ තල් ගස් විනාශ කිරීම පරිසර පද්ධති බිඳ දමනවා පමණක් නොව, ප්රාදේශීය ප්රජාවන් පෝෂ්යදායී ආහාර සහ සම්ප්රදායික ගොඩනැගිලි ද්රව්යවල සපයා ගන්නා ස්වභාවික මුලාශ්ර ද විනාශ කරයි. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්-රාජ්ය මණ්ඩලය සහ අනෙකුත් මූලාශ්ර තිරසාර “හරිත ධනවාදයක්” පැවතිය නොහැකි බව පෙන්නුම් කරයි. බොහෝ සමාගම් පරිසර හායනය සිදු කරන අතර ම, කෙටි කාලීන ආර්ථික ප්රතිලාභ සඳහා බිල්ලක් ලෙස මෙම යෙදුම භාවිතා කිරීම මෙයට බොහෝ දුරට හේතු වී ඇත.
ස්ථිරව ජලයෙන් (ගංවතුරෙන්) යටවීම සහ වඩදිය බාදිය ඇතිවීමේ වාර ගණන, ප්රමාණය සහ ගැඹුර වැඩිවීම ඉදිරියේ ඇතිවන මුහුදු මට්ටම ඉහළ යාමේ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන බලපෑම්වලට අයත් වේ. එමෙන්ම, මුහුදු මට්ටම ඉහළ යාම වැලි සහිත වෙරළ බොහොමයක් පසුපසට නෙරා යාමට (එනම්, වෙරළ තවදුරටත් ගොඩබිම අභ්යන්තරයට ගමන් කරීමට) සහ ඛාදනය වීමට හේතු වේ. එවැනි ව්යාපෘති සඳහා සිදු කරනු ලබන ක්රියාකාරකම් මගින් බොහෝ දුරට මෙම ප්රජාවන් මුහුණ දෙන ගැටලු, එනම්, අන්තර්කරණය නොකිරීම, වෙන් කිරීම, ජාතිය හෝ කුලය පදනම් කර ගෙන වෙනස් කොට සැලකීම, අසාධාරණ සැලකීම සහ ආන්තික හා දේශගුණික විපර්යාසවල සෘජු හා වක්ර බලපෑම් වැනි ගැටලු තවදුරටත් උග්ර කරන බව පෙනෙයි.
මන්නාරමේ අනාගතය මූලික ම වෙනසක් සිදුවීම මත රඳා පවතියි. අපි හරිත සෝදාහැරීමෙන් ඔබ්බට ගොස්, සැබෑ තිරසාරත්වයක්, එනම් පාරිසරික අඛණ්ඩතාවයට ගරු කරන සහ මෙම දූපත තම ‘නිවහන’ ලෙස හඳුන්වන අයගේ යහපැවැත්මට ප්රමුඛත්වය දෙන වැඩපිළිවෙළක් වැළඳ ගත යුතුය. මෙම ප්රාදේශීය ප්රජාවන් මුහුණ දෙන සීමාකිරීම් හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. සම්පත්, තොරතුරු සහ සහාය වෙත ප්රවේශය ලැබීම බොහෝ විට තීරණ ගැනීම කෙරෙහි බලපාන අතර, මෙම ප්රතිලාභ සෑම විටම සෑම කෙනෙකු වෙතම එක හා සමාන ලෙස ළඟා වී නැත.
දීර්ඝ කාලීන පාරිසරික ප්රතිවිපාක සලකා බැලීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, වර්තමානයේ ගනු ලබන තීරණ අනාගත පරම්පරාවල යහපැවැත්මට හානිකර නොවන බව සහතික කිරීම සඳහා, පරම්පරා අතර සමානාත්මතාවය සලකා බැලීම අතිශය වැදගත් බව මෙහි දී සඳහන් කළ යුතු ය.
මෙම සාකච්ඡා සහ අත්දැකීම් පුරාවට, ගැටලුවල විවිධ ස්ථර සහ ඒවායෙහි ගැඹුර තවදුරටත් විමර්ශනය කෙරෙන අතර, ඒවා ඛේදනීය, මතභේදාත්මක හෝ එකිනෙකින් වෙනස් වන කථා විය හැක. කෙසේ වෙතත්, මෙම ප්රශ්නකාරී ගැටළුවල පහළ ස්ථර, ඒවා අපට කිසිදිනෙක සම්පූර්ණ කථාවක් හෝ පින්තූරයක් ලබා ගත නොහැකි ඒවා බවට පත්කරයි. මේ අනුව, අපගේ කාර්යය වන්නේ කිසිදු නිගමනයකට එළඹීම නොව, අපගේ පරිසරය ද, එහි පැවැත්ම සහ සංකීර්ණ සමතුලිතතාවය මත රඳා පවතින සියලුම ජීවීන්ගේ සහ අනාගත පරම්පරාවන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කරමින්, ආන්තික හා වඩාත්ම අවදානම් සහගත අයට ඔවුන්ගේ තත්ත්වයෙන් මිදීම සඳහා සහාය වීම ය.
මූලාශ්ර සහ වැඩිදුර කියවීම සඳහා ලේඛන
1. ශ්රී ලංකාවේ අදානිගේ සුළං බල ව්යාපෘතිය රළු කාලගුණ බලපෑම් ඇති කරයි.https://thediplomat.com/2024/06/adanis-wind-power-project-in-sri-lanka-hits-rough-weather/
2. මන්නාරමේ විරෝධතා හමුවේ ඕස්ටේ්රලියානු සමාගමේ බිලියන ගණනක වැලි කැණීමේ ව්යාපෘතියට බාධා. https://www.sundaytimes.lk/240616/news/australian-companys-multibillion-sandmining-project-mired-in-mannar-protests-560380.html
3. සුළං බලය ගැන ඔබ දැනගත යුතු දේ.
4. ආයෝජන මණ්ඩලයේ මන්නාරම ව්යාපෘතිය, https://investsrilanka.com/mannar-phase-ii-100-mw-wind-power-project/
5. රජය ගැසට් මගින් fවිඩිතල්තිව් ස්වභාව රක්ෂිතයේ කොටසක් ඉවත් කරයි, https://www.ft.lk/news/Govt-de-gazettes-part-of-Vidataltivu-Nature-Reserve/56-761718
6.Heinz Sibum, Volker Günther, Oskar Roidl, Fathi Habashi, Hans Uwe Wolf, “ටයිටේනියම්, ටයිටේනියම් මිශ්ර ලෝහ, සහ ටයිටේනියම් සංයෝග”, කාර්මික රසායනවිද්යාව පිළිබඳ උල්මාන්ගේ විශ්වකෝෂය 2005, Wiley-VCH, Weinheim.doi:10.1002/14356007.a27_095
7. ඉල්මනයිට් පිළිබඳ තොරතුරු, https://geology.com/minerals/ilmenite.shtml
8. ව්යාප්ත සුළං උත්පාදක යන්ත්රයක් ස්ථාපනය කිරීමට කොපමණ කාලයක් ගතවේද? https://blog.windurance.com/how-long-does-it-take-to-install-a-distributed-wind-turbine
9. මන්නාරම සුළං බල උද්යානය (මෙ.වො. 300), http://powermin.gov.lk/power/index.php/portfolio/mannar-wind-power-park-300-mw/#:~:text=The%20Project%20comprises%2030%20numbers,400%20GWh%20of%20electricity%20annually.
10. ඛනිජ වැලි, https://www.mineralcommodities.com/products-sales/mineral-sands/
11. අධි-ශක්ති සහිත, ඛාදනය වන වැලි වෙරළ තීරය දිගට ස්වභාවධර්මය පදනම් කරගත් විසඳුම: ප්රතිනිර්මාණය කරන ලද වෙරළබඩ වැලිකඳු මත ස්වභාවික ගතිකය ප්රතිස්ථාපනය කිරීම පිළිබඳ මූලික පරීක්ෂණ, " https://www.mdpi.com/2073-4441/11/12/2518
12. මන්නාරමේ යෝජිත සුළං බලාගාර උද්යානය සංක්රමණික පක්ෂීන්ට මර උගුලක්, මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, " https://groundviews.org/2024/02/09/wind-farm-in-mannar-is-a-death-trap-for-migratory-birds/
13. නියාමක ආයතනය සුළං බල ව්යාපෘතිය සඳහා අනුමැතිය ලබාදීම ප්රතික්ෂේප කරයි, https://www.sundaytimes.lk/240623/news/regulator-refuses-approval-for-adani-wind-power-project-561878.html
14. තැප්රොබේන් සීෆුඩ් සමාගම සම්බන්ධ ගැටළුව, Taprobane Seafood Company issue (youtube.com)
15. තැප්රොබේන් සීෆුඩ් සමාගම සහ එක්සත් ජනපදයේ ඩිරෙක්ට් සෝර්ස් සීෆුඩ් සමාගම ඔවුන්ගේ උපායමාර්ගික හවුල්කාරීත්වය නිවේදනය කරයි,
16. තැඹිලියගොඩගේ, චරිත සහ විජේසේකර, රමණී සහ බකර්, මාර්ටින්. (2021), ටයිටේනියම් යොදාගනිමින් ද්රව්ය නිෂ්පාදනය කිරීම සඳහා ඉල්මනයිට් නිස්සාරණය කිරීම: සමාලෝචනයක්.Discover Materials. 1.10.1007/s43939-021-00020-0. https://www.researchgate.net/publication/356914040_Leaching_of_ilmenite_to_produce_titanium_based_materials_a_review
17. ද අදානි ෆයිල්ස්, " https://adanifiles.com.au/
18. වෙඩිතල්තිව් යළිත් අනතුරේ, https://ceylontoday.lk/2023/10/26/vidataltivu-in-danger-again/
19. වෙඩිතල්තිව් සහ ලංකාවේ පරිසර පද්ධතිය, Vedithalathivu and the Lankan ecosystem | The Morning
20. වෙඩිතල්තිව් ස්වභාව රක්ෂිතය: https://lk.chm-cbd.net/protected-areas/vidataltivu-nature-reserve
21. වෙඩිතල්තිව් ගමේ ධීවර ප්රජාව කඩොලාන ඉඩම් කොල්ලයට එරෙහි වීමට සූදානම් වෙති: Vidattaltivu village fisherfolk prepare to oppose mangrove land grab | Print Edition - The Sunday Times, Sri Lanka
දිනය: 2024.06.24
රචනා කළේ: කසුමි රණසිංහ ඒ.
තනතුර: පරිසර මනෝවිද්යා උපදේශක, ජෛව විවිධත්ව ව්යාපෘතියේ සාමාජික