
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ (PARL) නිවේදනය
Published
2024 පෙබරවාරි 12 සහ මාර්තු 04 දිනවල රජය හා විවිධ රාජ්ය ආයතන භාරයේ ඇති ඉඩම් සම්බන්ධයෙන් ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණ, වන සංරක්ෂණ ආඥා පනතට සිදුකිරීමට නියමිත සංශෝධනය සහ ‘උරුමය’ වැඩසටහන සම්බන්ධයෙන් ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ (PARL) නිවේදනය
2024 පෙබරවාරි 12 සහ මාර්තු 04 යන දිනවල කැබිනට් මණ්ඩලය විසින් රජය භාරයේ ඇති ඉඩම් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ දෙකක්, වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය සඳහා ගෙන ඒමට සූදානම්කර ඇති බවට දැනටමත් පුවත් පළවී ඇති සංශෝධන පනත් කෙටුම්පත සහ රජය විසින් ක්රියාත්මක කරන ‘උරුමය’ වැඩසටහන සම්බන්ධයෙන් ඉඩම් සඳහා වන ජනතා සන්ධානයේ දැඩි අවධානය යොමුව ඇත.
කැබිනට් තීරණ
ඉහත කී කැබිනට් මණ්ඩල තීරණ වන්නේ,
01. ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ රාජ්ය වැවිලි සංස්ථාවට අයත් ඉඩම් විශාල ප්රමාණයක් දීර්ඝ කාළයක් තිස්සේ (නෛතික ගැටලු, ආයතනික ප්රශ්ණ සහ ප්රාග්ධන හිඟය නිසා) ඵලදායී අයුරින් ප්රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බැවින් ඉඩම් අපනයනය ඉලක්ක කරගත් වගාවන් සහ අපනයනය ඉලක්ක කොටගත් පශු නිශ්පාදන සඳහා තෝරාගත් ආයෝජකයින්ට බදු පදනමින් ලබාදීමේ 2024 පෙබරවාරි 12 දිනැති කැබිනට් මණ්ඩල තීරණය.
02. විවිධ රාජ්ය ආයතන යටතේ පවත්නා මෙරට ඉඩම්වලින් 82% ක් පමණ වන භූමිය ආයෝජකයින්ට ලබාගැනීමේදී පොදු තනි කාර්ය පටිපාටියක් නොමැතිවීම නිසා ඇතිවී ඇති සංකීර්ණතා මඟහරිනු පිණිස සහ ආයෝජකයින් සඳහා නිදහස් කළහැකි ඉඩම් හැකි ඉක්මනින් හඳුනාගෙන එම ඉඩම් ආයෝජකයින් වෙත නිදහස් කිරීමේ කාර්ය පටිපාටිය වේගවත් කරනු පිණිස ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු ඉඩම් කළමණාකරණ භාරයක් පිහිටුවීමේ 2024 මාර්තු 04 දිනැති කැබිනට් මණ්ඩල තීරණය.
‘උරුමය’ වැඩසටහන
රජය භාරයේ පවත්නා ඉඩම් පෞද්ගලික ආයෝජකයින් වෙත ලබාදීම සඳහා වන ඉහත කී තීරණ ගනු ලබන්නේ ඊට ප්රතිපක්ෂ යැයි බැලූ බැල්මට යමෙකුට පෙනී යා හැකි දැනට බලපත්ර හා දීමනාපත්ර යටතේ ජනතාවගේ සීමිත අයිතිය වෙත ලබාදී ඇති ඉඩම් ලක්ෂ 20 ක් සඳහා විකිණිය හැකි සින්නක්කර ඔප්පු ලබාදීමේ රජයේ ‘උරුමය’ වැඩසටහනද ක්රියාත්මත වන අතරය. නමුත් ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ අදහස වන්නේ මේ ක්රියාමාර්ග සියල්ල ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් අතිශය අහිතර බලපෑම් එල්ල කරන ව්යුහාත්මක වෙනස්කම් ඇතිකරන එකම ක්රියාන්විතයක පියවර වන බවයි.
රජය විසින් ජනතාවට විකිණිය හැකි සින්නක්කර ඔප්පු ලබාදෙන්නේ ජනතාවට එම ඉඩම් ඵලදායී ලෙස භූක්ති විඳීමට අවශ්ය ව්යුහාත්මක සාධක සියල්ල අහෝසි කෙරෙන ක්රියාදාමයක් තුල බව අපගේ නිරීක්ෂණයයි. මෙසේ නිදහස් කෙරෙන ඉඩම් අතිබහුතරය කෘෂිකාර්මික හෝ ඒ සඳහා යොදාගතහැකි ඉඩම් වන අතර ග්රාමීය ජනතාවගේ වෙනත් ආකාරයකින් එකී ඉඩම් ඵලදායී ලෙස භාවිතා කිරීමේ හැකියාවක්ද නොපවතී. ඒවායේ සිදුකරන කෘෂිකාර්මික කටයුතුවලින් ජනතාවට ජීවත්විය හැකිද? ගොවියා විශාල වශයෙන් සූරාකන අතරමැදි ව්යාපාරවලට ඉඩ සලසා වෙඳපොලින් රජය ඉවත්ව සිටින අතර එකී අතරමැදි ව්යාපාරිකයින්ට රජය විසින් ණය සහන ඇතුලු විශාල අනුග්රහයන් ලබාදෙයි. පොහොර සහනාධාරය, කෘෂි ව්යාප්ති සේවා, කෘෂි රක්ෂණ ඇතුලු ගොවීන් වෙත වන සියලු සහන හා සහායක සේවාවන් කපාහැර ඇත. රජයේ බැංකු හරහා ණය සඳහා වන ප්රවේශය අහිමිකර ඇති අතර ජනතාව සූරාකන ණයදෙන ආයතන සඳහා අවශ්ය ව්යුහාත්මක රැකවරණය ලබාදෙමින් පවතී. පොදු සම්පතක් වන ගොවිතැනට අවශ්ය ජලය පවා පෞද්ගලිකකරණයට පියවර සකසමින් පවතී. මේ සියලු තත්ත්වයන් තුල හුදු ඉඩමක සින්නක්කර අයිතිය විසින් එම ඉඩම් ලැබෙන ජනතාවට ඉතිරිකරන එකම විකල්පය වන්නේ එම ඉඩම් විකුණා මුදල් බවට පත්කිරීමයි. මේ තත්ත්වය තුල ව්යාපාරිකයින්ට එම ඉඩම් සිය මුදල් බලය යොදවා සංකේන්ද්රණය කරගත හැකිවන අතර නැවත වටයකින් රජය විසින් ඉදිරියට ගෙන යමින් ඇති පෞද්ගලික ව්යාපාරිකයින් වෙත ඉඩම් බැහැර කිරීමේ ක්රියාවලිය මේ හරහාද සිදුවනු ඇත. අනයින් ‘උරුමය’ යනු ජනතාවට කරුමයක් බවට පත්වීමට නියමිත රජයේ කූට උපායමාර්ගයක් හැර අන් යමක් නොවන බව අපගේ නිගමනයයි.
වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය
මේ අතර දැනට විවිධාකාරයෙන් ප්රකාශයට පත්ව ඇති තොරතුරු අනුව 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය මඟින් රජයට අයත් වෙනත් කැලෑ වශයෙන් ආරක්ෂා කරනු ලැබ ඇති අනාගතයේදී රක්ෂිත ලෙස ප්රකාශයට පත්කිරීමට යෝජිත වනාන්තර විශාල ප්රමාණයක් වානිජ භාවිතය සඳහා යොදාගැනීමේ අරමුණ ඇතිව එම පනත සංශෝධනය කිරීමේ සූදානමක් පවතී. දැනට දැනගැනීමට ලැබී ඇති පරිදි ඒ සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත මේ වන විටද කෙටුම්පත්කොට අවසන්ය. ඒ යටතේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියෙන් පසුව 20 (අ) ලෙස අලුතින් වගන්තියක් එක්කර බහුවිධ කළමණාකරණ වනාන්තර ලෙස රජයට අයත් වෙනත් වනාන්තර ප්රකාශයට පත්කිරීමට සැලසුම්කොට ඇත. මෙකී නව සංශෝධනයට අනුව බහුවිධ කළමණෘකරණ වනාන්තරයක පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ස්වභාවධර්මය පදනම් කරගත් සංචාරක ව්යාපෘති ක්රියාත්මක කිරීම සහ හඳුනාගත් සෙසු ක්රියාකාරකම් මඟින් ආර්ථීක ප්රතිලාභ අතකර දෙනු පිණිස රාජ්ය නොවන අංශ බලගන්වමින් කළමණාකරණය පිණිස විශය භාර අමාත්යවරයාට බලතල හිමිවන ක්රියාවලියක් හඳුන්වාදීමට යෝජිතය. රජයට අයත් වෙනත් කැලෑ ලෙස දැනට පවතින මෙසේ විවිධ ව්යාපාර සඳහා ලබාදෙනු පිණිස නීති සංශෝධනයය කෙරෙන මේ භූමීන් බොහොමයක් දැනට පවත්නා රක්ෂිත වනාන්තර අතර සම්බන්ධතාව ඇති කරන වැව් හා ජලාශවල ජලපෝෂක ලෙස ක්රියාත්මක වන, වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණ පා සිටින ඉතාම දුර්ලභ හා ආවේණික ජීවී විශේෂ බොහොමයකට වාසස්ථාන සපයන, අලි-ඇතුන්ගේ ප්රධාන වාසස්ථාන සහ අලි මංකඩවල් ලෙස ක්රියාත්මක වන සුවිශේෂී පරිසර පද්ධති වේ. දැනට රජයට අයත් වෙනත් කැලෑ ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වගන්තිය යටතේ පාලනය වන වනාන්තරවල භූමි ප්රමාණය හෙක්ටෙයාර 345,811 ක් හෙවත් අක්කර 854,155 ක් පමණ වන අතර එය මෙරට ඉතිරි වී ඇති වනාන්තර ප්රමාණයෙන් 18% කි. රජයේ නව පනත් සංශෝධනය විසින් මේ අතිමහත් පාරිසරිකව සංවේදී භූමි ප්රමාණය ආයෝජකයින් වෙත ලබාදීමට සූදානම් වන්නේ දැවැත්ත ජෛව-පාරිසරික හා මානව ව්යසනයක් නිර්මාණය කරමිනි.
අනතුර කුමක්ද?
ඉහත කී කැබිනට් මණ්ඩල තීරණ සහ වන සංරක්ෂණ පනතට සිදුකිරීමට සූදානම්වන සංශෝධනය ඔස්සේ ඍජුවද, ‘උරුමය’ වැඩසටහන යටතේ වක්රවද ක්රියාත්මක වන රජය භාරයේ පවත්නා මේ රටේ ඉඩම් අපනයනය ඉලක්කකොටගත් මහා පරිමාණ ආයෝජකයින්ට ලබාදීමෙන් අත්විය හැකි ප්රතිඵල මොනවාද? මෙසේ පෞද්ගලික ආයෝජකයින් විසින් සිදුකරන මහා පරිමාණ වගාවන්, පාරිසරිකව තිරසාර නොවන සංචරක ව්යාපෘති හා විවිධ ආයෝජන සඳහා ඉඩම් ලබාදීම මෙරට තුල අලුත් ක්රියාවලියක් නොවේ. 1977 ආර්ථිකය නිදහස් කළ දින සිටම මෙරට පැවැති රජයන් විසින් වර්තමාන ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් හුවා දක්වන ආයෝජන අරමුණු වෙනුවෙන් මෙරට විශාලතම සම්පත වන ඉඩම් විවිධ සමාගම් වෙත ලබාදී තිබේ. ඇත්ත වශයෙන්ම 1980 දශකය මුල්භාගයේ එය මෙරට ආර්ථීකයේ අනාගත සෞභාග්යයේ දොරටුවක් ලෙසින් වර්ණනා කරනු ලැබින. එකී ක්රියාවලිය සාධාරණීකරණය කිරීම සඳහා එදා ඉදිරිපත් වූ තර්කය වූයේ ඉඩම් නැමැති සම්පතෙන් ඵලදායී ලෙස ප්රතිලාභ ලබනු පිණිස අවශ්ය ප්රාග්ධන ආයෝජන කිරීමට මෙරට රජයට හැකියාවක් නොමැති බැවින් මහා පරිමාණ ඉඩම් ඒකක වෙත පෞද්ගලික ආයෝජකයින් ආකර්ශනය කරගනිමින් ඔවුන්ගේ ප්රාග්ධන ආයෝජන වලට ඉඩ සැලසිය යුතු බවයි. අනෙක් අතට රාජ්ය ව්යාපාර කළමණාකරණය සම්බන්ධයෙන් මෙරට රජයන් දිගින් දිගටම අසාර්ථව ඇති බැවින් එය වඩා සාර්ථක ලෙස කළහැකි පෞද්ගලික අංශයට එය ලබාදීම වඩා ප්රායෝගික බවයි. තුන්වැන්න නම් මෙම ආයෝජන හේතුකොටගෙන මෙරට ජනතාවට රැකියා අවස්ථා නිර්මාණය වනු ඇති බවයි. අද දවසේද රජය භාරයේ පවත්නා ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් නව්ය අදහස් ලෙසින් අප හමුවේ තබන්නේ මීට වසර 40 කට එහා සිට කියමින් සිටින මේ තර්කවලට වැඩිමනත් දෙයක් නොවේ.
අපට ලැබුණ දේ
එදා එකී තර්කය අනුව ආයෝකයින් වෙත ලබාදුන් ඉඩම්වලින් ලැබී ඇති ප්රතිලාභ දෙස බැලුවහොත් අපට දැකගැනීමට හැක්කේ කුමක්ද? පසුගිය දශක හතරකට මඳක් වැඩි කාළය තුල මෙරට ඉඩම් අක්කර ලක්ෂ ගණනක් පෞද්ගලික ආයෝජකයින් වෙත ලබාදී තිබේ. තේ, උක්, බඩ ඉරිඟු, දුම්කොල, කෙසෙල්, අඹ යනාදී වශයෙන් වූ මහා පරිමාණ ඒක භෝග වගාවන්ට ලබාදුන් ඉඩම් කිසිවක් අද වන විට ආර්ථික වශයෙන් ඵලදායී නොවේ. එම ව්යාපාරවලින් මෙරට ඇතිවූ සීමිත ප්රතිලාභයට වඩා දීර්ඝ කාලීනව මෙරට ජනතාවට හා පරිසරයට අතිමහත් විනාශයන්ට මුහුණු දීමට සිදුව තිබේ. බොහෝ ආයෝජකයෝ බාහිර යෙදවුම් විශාල වශයෙන් යොදමින් ඉතා කෙටි කලකින් භූමියේ සම්පූර්ණ සාරය විනාශවන වගා ක්රම අනුගමනය කරමින් උපරිම ලාභ ලබා නිසරු පොළවක් ඉතිරිකර ඒවා හැර ගොසිනි. මෙම ප්රදේශවල භූගත ජල සම්පත විශාල වශයෙන් විනාශ වී තිබේ. තිරසාර නොවන අහිතකර පාරිසරික භාවිතාවන් හේතුකොටගෙන එම භූමියේ ජීවත්වන ජනතාවට නිදන්ගත වකුගඩු රෝගය ඇතුලු දීර්ඝ කාලීන රෝගාබාධ රැසකට මුහුණ දීමට සිදුව ඇත. මෙම වගාවන් හරහා සිදුවූ දැවැන්ත පරිසර සංහාරයන් නිසා පරිසර පද්ධතිවලට දීර්ඝ කාලීන නැවත හැරවිය නොහැකි බලපෑම් සිදුව ඇත. නිමක් නොවන අලි- මිනිස් ගැටුම නිර්මාණය කරනු ලැබූයේද, දිනෙන් දින එය තීව්ර කරනු ලැබූයේද මෙම අමන තීරණ විසිනි. මේ බොහෝමයක් ප්රතිඵල විසින් ඉඩම් නැමැති සම්පතෙන් අනාගත පරම්පරාවන්ට ලැබිය හැකිව තිබූ ප්රතිලාභ සම්පූර්ණයෙන්ම පාහේ අහෝසිකොට ඇත.
ජනතාවට ලැබෙන බවට ශපථ කළ ආර්ථික ප්රතිලාභ සම්බන්ධයෙන් අද අප දකින්නේ කවර යථාර්ථයක්ද ? මේ එකදු ආයෝජනයක් හෝ සිදුවූ ප්රදේශයක දර්ද්රතාවය දශමයකින් හෝ අඩුවී නොමැත. ජනතාව පෙර සිටි තත්ත්වයටත් වඩා දරිද්රතාවට, ණයගැතිභාවයට ඇදවැටී ඇත. ඔවුහු තමන්ට තිරසාර ලෙස ප්රතිලාභ ලැබියහැකිව තිබූ ඉඩම් පෞද්ගලික ආයෝජකයින්ට ලබාදී දිලිඳුව-ණයගැතිව-රෝගාබාධයන්ගෙන් පීඩා විඳිමින්- වන අලි ප්රහාරයන්ට ලක්වෙමින්- බීමට පිරිසිදු ජල පොදක් හෝ නැතිව දුක්ඛිත ජීවිත ගතකරති. මෙය ශ්රී ලංකාවට පමණක් උරුම වූ ඉරණමක් නොවේ. එදා මෙරට පාලකයින් කියා පෑ (වර්තමාන රජයද වර්ණනා කරමින් ඉදිරිපත් කරන) තර්ක මත සිය භූමියේ ඉඩම් මහා පරිමාණ ඒක භෝග වගාවන්ට සමාගම් වෙත ගොදුරු කළ ආසියානු, ලතින් ඇමරිකානු හා අප්රිකානු රටවල්වල මේ කණගාටුදායක යථාර්ථය මේ ආකාරයෙන්ම දිග හැරෙමින් පවතී. ඇත්ත වශයෙන්ම රජය විසින් ඉඩම් සම්බන්ධයෙන් ඉදිරිපත්කොට ඇති ආර්ථීකමය තර්ක කිසිවක් අලුත් ඒවා නොවේ. ඒවා ලෝකයේ කාලාන්තරයක් තිස්සේ ක්රියාත්මකකොට අසාර්ථක වූ ඒවාය.
ඉඩම් අහිමිවීම විසින් ඇතිකරන ලද සමාජ කැළඹීම්වල ඉතිහාසය
රජය ගෙන එන තෙවන තර්කය වන රැකියා ජනනය කිරීම සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ මීට වෙනස් දෙයක් නොවේ. මෙරට ගොවිජනපද ව්යාපාර ආරම්භ කළ අවස්ථාවේ සිට ඉදිරිපත් වූ තර්ක ගොනුව තිබුණේ මෙරට ජනතාවට රැකියා උත්පාදනය කිරීමට ආණඩුවල අසමත්භාවය කෘෂිකර්මාන්තය වෙත පටවා නිදහස්වීමේ උපායකි. කාර්මිකකරණය වෙත රට ගෙනයනවා තබා කෘෂිකර්මාන්තය තුල පවා අගය එකතු කරන නිෂ්පාදන ක්රමවේදයයන් හඳුන්වා නොදී ප්රාථමික ගොවිතැන තුල ශ්රමයට මෙරට ශ්රම බලකාය ගොනු කිරීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. මෙරට ශ්රම බලකාය ගුණාත්මක වශයෙන් වර්ධනය නොවූවා පමණක් නොව ඔවුන්ට ආර්ථික වශයෙන් තිරසාර ජීවන ක්රමයක් පවා මේ ක්රියාවලිය විසින් අහිමිකර තිබේ. දැන් මේ යෝජනා කරන්නේ එය තවත් ඉදිරියට ගෙන යාමටය. මේ අනුව ඉඩම් අහිමිවන ජනයාට වැටුප් ශ්රමිකයන් බවට පත්වීමට සිදුවනු ඇති අතර මහා පරිමාණ කෘෂි හා පශු ආයෝජනයන්හි වැටුප් ශ්රමිකයින් බවට පත්වූ ජනතාවගේ ජීවිත ඇදවැටී ඇති ඛේදජනක තත්ත්වය අතිශයින්ම ශෝචනීය ය. අනෙක් අතට ඉඩම් අහිමිව ග්රාමීය ප්රදේශවලින් විතැන්ව නාගරික ශ්රම වෙලඳපොල වෙත සංක්රමණයවූවෝ අද අතිශය අසීරු හා අවාසනාවන්ත ජීවිත ගතකරන අතර ඔවුන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අපගේ රජයන් අසමත්ව ඇතිවාක් මෙන්ම තිබෙන රැකියා අවස්ථාද දිනෙන් දින ක්ෂය වෙමින් පවතින්නේ අතිශය අවාසාදායක ශ්රම කොන්දේසි මත සූරාකනු ලැබීමට ඔවුන්ව ගොදුරු කරමිනි.
මේ තත්ත්වය විසින් ඉඩම් අහිමි පරම්පරාවක් බිහි කරනු ඇති අතර එම ජනතාවට ගෞරවාන්විත විකල්පයක් සම්පාදනය කළහැකි ආර්ථීකයක් නොමැති තත්ත්වයක් තුල එකී අර්බුදය සමාජ-දේශපාලනික අර්බුදයක් කරා වර්ධනයවීමේ අනතුරක් පවතී. පසුගිය සියවස් දෙකක කාළය තුල මෙරට ඇතිවී ඇති සියලු කැරලි/ මහජන නැගිටීම් තත්ත්වයන් තුල ඉඩම් අයිතිය නැමැති සාධකය තීරණාත්මක භූමිකාවක් රඟ දක්වා ඇත. 1848 කැරැල්ල පදනමේ ඉංග්රීසි යටත්විජිතවාදීන්ගේ වතු වගාවන්ට පහසුකම් සැලසීම වෙනුවෙන් ගෙන එනු ලැබූ ඉඩම් රජයට පවරාගැනිමේ නීති නිසා ඉඩම් අහිමිවූ ස්වදේශිකයින්ගේ වේදනාව හා විරෝධය පැවැති බව අද වන විට අවිවාදිතය. 1971 දී සහ 1987-89 දකුණේ සිදුවූ තරුණ නැගිටීම් පදනමේද ඉඩම් අහිමි ජනයාගේ වේදනාව වූ බව ඒවාට හේතු වූ කාරණාවන් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත්කළ කොමිෂන් සභා විසින් සිය වාර්තාවන්හි පැහැදිලිව දක්වා තිබේ. තිස් අවුරුදු යුද්ධයක් දක්වා දික් ගැසුනු උතුරේ අරගලය පසුපසද ඉඩම් අහිමිවීම හා ඉඩම් හිමිකාරත්වයේ ගැටලු පැවත ඇති බව උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාවෙන්ද පෙන්වා දී ඇත. ඉහත කී රජයේ තීරණ ඔස්සේ ඉඩම් අහිමි පරම්පරාවක් අලුතින් නිර්මාණය කරමින් සිටින්නේ මේ ඛේදජනක ඉතිහාසයන් පිලිබඳ කිසිදු සංවේදීතාවයකින් තොරවය.
මේ ද්රෝහී වන්නේ මිනිස් හා ජෛව ප්රජාවේ උපනූපන් සියලු අනාගත පරම්පරාවන්ටයි
වඩාත්ම අන්තරායදායක කාරණය වන්නේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් තමන්ගේ පෞද්ගලික දේපලක් සේ සලකා මේ විනාශකර දමන්නේ මේ රටේ වටිනාම සම්පත වන ඉඩම් වීමයි. ඇත්ත වශයෙන්ම මේ ඉඩම් රජයට අයති නොවේ. ඒවා මේ භූමියේ වෙසෙන සමස්ථ මිනිස් හා ජෛව ප්රජාවේ පමණක් නොව ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ගේද පොදු සම්පතකි. රජයට පවරා ඇති වගකීම වන්නේ මෙම භූමියේ ජීවත්වන ජනතාව සහ ජෛව පද්ධතියේ සෙසු සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ අනාගත පරම්පරාවල සුභසිද්ධිය පිණිස නිසි පරිදි එම සම්පත කළමණාකරණය කිරීමයි. එය මෙරට ඉඩම් පිලිබඳ නීතියේ පදනම සැපයූ ඉඩම් කොමිසම් විසින්ද, අන්තර්ජාතිකව පිලිගත් අනාගත පරම්පරාවේ අයිතීන් ඇතුලු මානව හිමිකම් සම්මතයන් අන්තර්ගත සම්මුතීන් විසින් මෙන්ම එප්පාවල පොස්පේට් නඩුව ඇතුලු තීරණාත්මක නඩුකර ගණනාවකදී මෙරට ශ්රේෂ්ඨාධිකරණය විසින්ද පිලිගත් මූලධර්මයකි.
නමුත් ජනාධීපතිවරයා ප්රමුඛ වර්තමාන රජය විසින් ඉඩම් සම්බන්ධයෙන් ගනිමින් තිබෙන මෙම ප්රතිපත්තිමය පියවර විසින් එකී ඉඩම් නැමැති පොදු සම්පත තිරසාර ලෙස මෙම භූමියේ වෙසෙන්නන්ගේ සහ අනාගත පරම්පරාවල යහපත වෙනුවෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති කරන බව අපගේ අදහසයි. අනෙක් අතට රජය යටතේ පවත්නා ඉඩම් නිසි පරිදි කළමණාකරණය කළ නොහැකිවීම රජයේ අසමත්භාවයකි. එයට පිලියම් නොයොදා පෞද්ගලික ව්යවසායන්ට එය ලබාදීම පිලිතුරක් නොවේ. මේ සමස්ථ ක්රියාවලිය හරහා සිදුවෙමින් ඇත්තේ මෙරට ජනතාවගේ පොදු සම්පතක් වන ඉඩම් සිය පටු, අදූරදර්ශී අරමුණු හා අනොහැකියාවන් වසාගැනීම වෙනුවෙන් සහ සිය හිතවතුන්ගේ ප්රතිලාභය සහ අනීතික මූල්ය වාසි වෙනුවෙන් බිලිදීම යි. මේ ක්රියාවලිය සාධාරණීකරණය කිරීම සඳහා ගෙන එන තර්ක කිසිසේත්ම අලුත් ඒවා නොවේ. ඒවා මේ රටේ මෙන්ම ලෝකයේ බෝහෝ තැන්වල දශක ගණනාවක් තිස්සේ ක්රියාත්මකකොට අසාර්ථක වූ ඒවාය. එබැවින් මෙම යල්පීනූ අසාර්ථක උපායමාර්ග හකුලා ගන්නා ලෙසත්, එයින් මෙරට ජනතාවටත්-පරිසර පද්ධතියටත් සිදුවන ආපසු හැරවිය නොහැකි විනාශයට මඟ පෑදීමෙන් වලකින ලෙසත් ඉඩම් සඳහා වන ජනතා සන්ධානය රජයට බලකර සිටියි. මේ භූමියේ මිනිස් හා සත්ත්ව සන්තතියේ අනාගත පැවැත්ම වෙනුවෙන් මෙතරම් තීරණාත්මක ලෙස හානිකර වූ තීරණ ගැනීමෙන් වලකින ලෙසත්, අනාගත පරම්පරාවන්ට අයත් මෙම සම්පත් විනාශ කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් නැවත නැවතත් අපි අවධාරනය කර සිටිමු. අවසාන වශයෙන් රජය වෙත කීමට ඇත්තේ ඔබගේ නොහැකියාවට හා අසමත්භාවයට මේ භූමියේ ජනතාව හෝ අනාගත පරම්පරාවන් තවදුරටත් වන්දි නොගෙවිය යුතු බවයි. ජනවරමක් පවා නොමැති පාලනයකට එවැන්නක් කළහැකි යැයි සිතීම පවා අතිශය සමාජ විරෝධී වන අතර එවැන්නකට ඉඩ නොතැබීම මෙරට සියලු ප්රගතිශීලී ජනතාවගේ අත්හල නොහැකි වගකීමකි.