
යාපනය තිස්ස විහාරය ආශ්රිත ඉඩම් ගැටළුව හා යාපනය ජනතාවගේ ඉඩම් අයිතිය.
Published
යාපනය තිස්ස විහාරය ආශ්රිත ඉඩම් ගැටළුව හා යාපනය ජනතාවගේ ඉඩම් අයිතිය.
ඉඩම් ගැටළුව හා උතුරු පළාතේ ජනතාව අතර පවතින්නේ නොබිදෙන සම්බන්ධතාවයකි.යුධ සමයේ ආරක්ෂක අංශ කඳවුරු වෙත පවරාගත් ඔප්පු සහිත සිය මුල් ඉඩම් ලබා ගැනීමට නොහැකිව උතුරු පළාතේ ජනතාව පිරිසක් තවමත් කදුළු වගුරුවමින් සිටිති.
යාපනය,පලාලි,කන්කසන්තුරය හා මුලතිව්,මුල්ලිවයික්කාල් ඇතුළු ප්රදේශ ගණනාවක අක්කර දහස් ගණනක් තවමත් ආරක්ෂක අංශ යටතේ පවතින අතර, අදාළ ඉඩම් නිදහස් නොකිරීම හේතුවෙන් තමන්ට උපන් බිමට යාමට නොහැකිව උතුරේ දමිළ ජනතාව රැසක් පීඩාවට පත්ව සිටියි.
යාපනය දිස්ත්රික්කයේ ජනතාවගේ මුල් ඉඩම් අක්කර 3000 ක් පමණ තවමත් ආරක්ෂක අංශ සතුව පවතින අතර, අදාළ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමට නියමිත බව යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
උපන් බිම පෙනි පෙනී උපන් පය තැබීමට නොහැකි තත්වයක් උදාවීම කණගාටුවට කරුණක් වන අතර, අදාළ ඉඩම් නිදහස් වන තෙක් බලා සිටීම හැර කරන්නට වෙනත් යමක් ඔවුනට නොමැත.
යාපනය ජනතාවගේ ඉඩම් අහිමිවීම.
යාපනය දිස්ත්රික්කය වර්ග කිලෝමීටර 1025 කින් යුතු අතර, යාපනය දිස්ත්රික්කය තුළ භූමිය පමණක් වර්ග කිලෝමීටර 929 කින් යුතුය.
යුද්ධය හේතුවෙන් යාපනය දිස්ත්රික්කයේ ජනතාවට අක්කර 50000 කට ආසන්න ප්රමාණයක් කොටසක් අහිමිවු අතර, ආරක්ෂක අංශ කඳවුරු වෙත අදාළ ඉඩම් තොගය පවරා ගැණින.
යුද්ධය ආරම්භ වු 1990 දශකයේ යාපනය දිස්ත්රික්කයේ ජනතාවට ඉඩම් අහිමිවීම ආරම්භ වු අතර,යුද්ධය හේතුවෙන් අතහැරගිය යාපනය පලාලි,කන්කසන්තුරය,පේදුරුතුඩුව ආදි ප්රදේශයන්හි ඉඩම් අක්කර 3000 ක් පමණ තවමත් නිදහස් කිරීමට නොහැකිව ඇත.
යුධ ගැටුම් ආරම්භ වීමත් සමඟ යාපනය පලාලි හා කන්කසන්තුරය ප්රදේශයන්හි ජනතාව තමන්ගේ ඉඩම් අතහැර අවතැන් කඳවුරු වෙත පිටත්ව ගිය අතර, ඉඩම් අහිමි ජනතාව යාපනය දිස්ත්රික්කයේ ස්ථාපිත කළ අවතැන් කඳවුරු 32 ක ජිවත්විණ.
1990 දශයේ ඉඩම් අතහැර ගිය ජනතාවගේ ඉඩම් අක්කර 3000 ක් තවමත් පවතින්නේ යාපනය ආරක්ෂක අංශ කඳවුරු සීමාවන්ය.
වර්තමානයේ යුද්ධයක් නොපැවතුණද අදාළ ඉඩම් නිදහස් කිරීම හා ඉඩම් අහිමිවූවන්ට සිය මුල් ඉඩම් ලබාදීමට නොහැකිවීම කණගාටුදායක තත්වයකි.
උතුරේ සිදුවු සිංහල ජනාවාසකරණය.
උතුරු පළාතේ දමිළ ජනතාව බහුතරයක් ජිවත්වන අතර,සිංහල ජනතාව සැළකිය යුතු පිරිසක්ද උතුරු පළාත කේන්ද්ර කරගනිමින් ජිවත්වෙති.
යුද්ධය හේතුවෙන් දමිළ ජනතාව සේම උතුරේ සිංහල ජනතාව විශාල පිරිසක්ද සිය මුල් ඉඩම් අතහැර අනුරාධපුර දිස්ත්රික්කයෙන් ඔබ්බට වු ප්රදේශ වෙත සංක්රමණය විණ.
යුද්ධය අවසන් වු පසු සිය ඉඩම් අහිමි සිංහල ජනතාව පිරිසක් මුල් ඉඩම්වල නැවත පදිංචි විය.මුල් පදිංචිකරුවන් එලෙස පදිංචියට පැමිණීම සාධාරණය.
එහෙත් පැවති ආණ්ඩු කිහිපයක් සිය දේශපාලන අවශ්යතා ඉටු කර ගැනීමට උතුරු පළාත තුළ පදිංචිව නොසිටි පිරිසක් උතුරු පළාතේ බෝගස්වැව,නාමල්ගම,සැළලිහිණිගම හා වැලිඔය ප්රදේශයන්හි පදිංචි කිරීමට පියවර ගැණින.
නව සීමා නීර්ණ යටතේ මැතිවරණයක් පැවැත්වුවහොත් අදාළ ප්රදේශයන් තුළින් සිය දේශපාලන මතය රැගෙන යා හැකි පිරිසක් නිර්මාණය උදෙසා එලෙස හම්බන්තොට,මහනුවර,නුවරඑළිය වැනි ප්රදේශයන්හි පිරිසක් උතුරේ අලුතින් පදිංචි කිරීමට පසුගිය ආණ්ඩු කිහිපයක පාලකයින් කටයුතු කළහ.
ඒ තුළින් උතුරේ සිංහල ජනාවාසකරණයක් ඇති වු අතර, සිංහල ජනාවාසකරණයත් සමඟ උතුරු පළාත තුළ නව බෞද්ධ ආගමික ස්ථාන කිහිපයක්ද ස්ථාපිතව ඇති බව දමිළ ජනතාව පවසති.
උතුරු පළාත තුළ නව බෞද්ධ ආගමික ස්ථාන ස්ථාපනය හා දමිළ ජනතාව පීඩාවට ලක්වීම.
උතුරු පළාත තුළ නව සිංහල ගම්මාන බිහිකිරීම හා ආරක්ෂක අංශ කඳවුරු ස්ථාපිත කිරීමේ ප්රතිඵලයක් ලෙසට බෞද්ධයන් කිසිවෙකු පවා නොසිටි ස්ථාන කිහිපයක ආගමික ස්ථාන කිහිපයක්ද ස්ථාපිත විණ.
යුධ හමුදා කඳවුරු ආසන්න ප්රදේශයන්හි එලෙස නව බෞද්ධ ස්ථාන කිහිපයක් ස්ථාපිතව පවතින බව උතුරේ දමිළ ජනතාව පවසති.
යුධ හමුදා කඳවුරු වසර ගණනාවක් පවතින විට අදාළ කඳවුරු තුළ සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් වැදුම් පිදුම් කිරීම වෙනුවෙන් අලුතින් බෞද්ධ විහාරස්ථාන හා බුදු පිළිම ස්ථාපිත කිරීම සිදුකිරීම සාමාන්ය සාම්ප්රදාය වි තිබිණ.
පසුගිය සමයේ එවැනි බෞද්ධ මන්දිර කිහිපයක් උතුරු පළාත තුළ ඉදිකළ අතර, යාපනය තිස්ස විහාරස්ථානය එලෙස අලුතින් බිහි කළ බෞද්ධ විහාරස්ථානයක් බව දමිළ ජනතාව පැවසූහ.
තිස්ස විහාරය බිහිකිරීම හා තිස්ස විහාරය ආශ්රිත ගැටළුව.
යාපනය දිස්ත්රික්කය තුළ දමිළ බෞද්ධ පිරිසක් ඈත අතීතයේ සිටම ජිවත්වු අතර,දමිළ බෞද්ධ ජනතාව හා යාපනය හින්දු ජනතාව අතර සමීප සම්බන්ධතාවයක් පැවැත්විණ. කෝවිල හා පන්සල එක්ව පැවති අතර, ඒ හරහා ආගමික සංහිදියාව මනාවට පිළිබිඹු විණ.යාපනය නාගදීප විහාරස්ථානය හා යාපනය,නාගදීපයේ පවතින නාගපූසනි කෝවිල අතර පවතින්නේ නොබිදිය හැකි සම්බන්ධතාවයකි.
නාගදීපයේ වෙසෙන ජනතාව නාගදීප විහාරස්ථානයේ නාහිමියන් සමඟ සමීප ඇසුරක් පවතින අතර,යුධ සමයේ පවා එල් ටි ටි සංවිධානයද නාගදීප විහාරස්ථානය වෙත කිසිදු බාධාවක් සිදුනොකළ බව නාගදීප ජනතාව පවසති.
එලෙසම වවුනියාව දිස්ත්රික්කයේ පැරණි විහාරස්ථාන රැසක් උතුරේ හින්දු ජනතාව අතර සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර, පුනරුත්තාපනය ලද එල් ටි ටි සාමාජිකයෙකු අවස්ථාවක පැවසූවේ මුලතිව් කැළැව මැද පැවති පුරාණ බෞද්ධ ස්ථාන වෙත යුධ සමයේ පවා කිසිදු හානියක් නොකරන ලෙසට එල් ටි ටි සංවිධාන නායකයින් පහළ සාමාජිකයින්ට උපදෙස් ලබාදි තිබු බවයි.
එවන් ආගමික සංහිදියාවක් පැවති උතුරු පළාත තුළ, බෞද්ධයන් වැදුම් පිදුම් කිරීමට කිසිවෙකුත් නොමැති ස්ථානවල නව බෞද්ධ ආගමික ස්ථාන ස්ථාපිත කිරීමෙන් ආගමික සහජීවනයටද බාධා එල්ල වු අවස්ථාවන් කිහිපයක් පසුගිය සමයේ දැක ගැනීමට හැකිවිණ.
යාපනය,කන්කසන්තුරය තිස්ස විහාරය නමැති බෞද්ධ ආගමික ස්ථානයක් මෑත කාලයේ සකස් කිරීම තුළින් කන්කසන්තුරය ජනතාව පීඩාවට පත්ව සිටින බව තිස්ස විහාරය අවට ජනතාව පවසති.
තිස්ස විහාරය අවට ගම්මාවසීන්ගේ මතය.
යාපනයේ නාගදීප පන්සල,නාග විහාරය වාගේ පැරණි පන්සල් තියෙනවා.ඒවා ගැන යාපනයේ ජනතාව කාටවත් ප්රශ්න නෑ.ඒ පන්සල්වල සාදුලා එක්ක යාපනයේ දෙමළ ජනතාව හොදින් ඉන්නවා. ඒත් මේ තිස්ස විහාරය කියලා විහාරයක් අලුතෙන් හදන්න ගත්තේ 2020 අවුරුද්දේ ඉඳලා තමයි.
කොරෝනා ඇතිවුණ කාලයේ තමයි ඔය තිස්ස විහාරය කියන විහාරය හදන්න පටන් ගත්තේ. ඔතන පැරණි පන්සලක් තිබුණා කියලා කියනවා.ඒත් අපි දන්න කියන කාලයේ ඉදලා ඔතන පන්සලක් තිබුණේ නෑ.ඔය කියන තැනට එපිටින පරණ ගල්කනු වගේ දේවල් තියෙන වෙනත් තැනක 1950 ගණන්වල බුදු මැදුරක් තිබ්බා කියලා ගමේ වැඩිහිටියෝ කියනවා.
ඒ කාලයේ කන්කසන්තුරය සිමෙන්ති ෆැක්ටරියේ වැඩ කරපු සිංහල ජනතාව,පලාලි ගුවන් තොටුපොළේ වැඩ කරපු සිංහල ජනතාව ඔය කියන පැරණි බුදු මැදුරට පුජාවන් පවත්වලා තිබෙනවා.ඒක අපිට ප්රශ්නයක් නෑ. ඒ පැරණි බුදු මැදුර තිබුණ තැන පර්චස් 30 ක 40 ක කොටසක් තිබෙනවා. ඒ තැන පන්සල හැදුවානම් මිනිස්සු අකමැති වෙන්නේ නෑ. යාපනයේ නාගදීප පන්සලේ ලොකු සාදු එහෙම ඒ තැන ගැන දන්නවා.
ඒත් දැන් ඔය තිස්ස පන්සල හදන තැන කිසිම බුදු මැදුරක්වත් තිබිලා නෑ. කොහෙන්දෝ ආපු සාදු කෙනෙක් දැන් දෙමළ ජනතාව පදිංචිවෙලා හිටපු ඉඩම්වල පන්සලක් හදනවා. ඒක සාධාරණ නෑනේ. යුද්ධයට කලින් දැන් පන්සල හදන ඉඩම්වල දෙමළ පවුල් 18 ක් විතර පදිංචිවෙලා හිටියා. ඒත් යුද්දෙත් එක්ක ඒ ඉඩම් අතහැරලා අපි අවතැන්වෙලා ගියා.
අවතැන්වෙලා ගියපු අපිට අපේ ඉඩම් නිදහස් කරලා දුන්නෙත් දැන් අවුරුදු කීපයකට පෙර.හමුදාව යටතේ තමයි අපේ ඉඩම තිබුණේ.අපි අපේ ඉඩම් නැතිව කොච්චර නම් දුක් වින්දාද. ඒත් ඉඩම් හිමිවෙලා නැවත ගමට ආවත් දැන් අපිට අලුත් ප්රශ්නයකට මුහුණදෙන්න වෙලා.
ගමේ අලුතෙන් තිස්ස විහාරය කියලා පන්සලක් හදනවා.හමුදාවල අය තමයි පන්සල හදන්නේ. අපි ඇරෙන්න කිසිම බෞද්ධ කෙනෙක් අහල ගම් හතකවත් නෑ. එහෙම බෞද්ධ කෙනෙක් ළඟපාතකවත් නැති තැනක තිස්ස විහාරය කියලා පන්සලක් මේ දෙමළ ගම්මාන මැද්දේ හදන්නේ මොකද කියලා තමයි අපිට තේරෙන්නේ නැත්තේ.
හමුදා කඳවුරක් වාගේ කිසිම කෙනෙකුට ඇතුළුවෙන්න දෙන්නේ නැතුව මුරපොළවල් දාලා තමයි බලෙන් ඔය පන්සල හදන්නේ. අපේ පැරණි වෛරව කෝවිලක් තිබුණ තැනක තමයි ඔය පන්සල හදමින් ඉන්නේ.
පරණ බුදු මැදුර තිබුණ තැන පන්සල හදනවාට ගමේ කවුරුවත් විරුද්ධ නෑ. ඒත් දෙමළ ජනතාව පදිංචිවෙලා හිටපු ඉඩම් බලෙන් අල්ලගෙන පන්සලක් හදන එකේ සාධාරණය මොකක්ද කියලා තමයි අපිට තේරෙන්නේ නැති කාරණය.
දැන් ඔය කියන තිස්ස විහාරය කියන කොටසට දෙමළ ජනතාව පදිංචිවෙලා හිටපු අක්කර හතරක විතර ප්රමාණයක් අල්ලගෙන තිබෙනවා. පන්සල හදන සිමාවට පසුපස කොටස තවමත් තිබෙන්නේ හමුදාවන් භාරයේ. ඒවත් පන්සලට පවරා ගනියි.එතකොට ඔය ඉඩම්වල පදිංචිවෙලා ඉන්න අයට යන්න එන්න තැනක් නැති වෙනවා.
පන්සලේ උත්සව තියෙනවා කියලා හමුදාවේ බස්වල කට්ටිය ගෙනැල්ලා දාගෙන පෙරහැරවල් පවත්වනවා. ඒවටත් හමුදාවේම කට්ටිය එනවා කියලා තමයි අපි හිතන්නේ. නැත්නම් යාපනයේ ඔය කියන තරමක් බෞද්ධ ජනතාව කොහෙද ඉන්නේ.
බෞද්ධ පන්සලක් වුණාම හැමෝටම යන්න එන්න පුළුවන්. බලන්නකෝ නාගදීප පන්සල.දෙමළ ජනතාව තමයි ගොඩාක් පන්සල් යන්නේ. ඒත් තිස්ස විහාරයට සාමාන්ය දෙමළ මනුස්සයෙකුට ඇතුළුවෙන්නවත් බෑ.අල්ලපු ඉඩමේ ඉන්න දෙමළ මනුස්සයාටවත් පන්සලට එන්න අවසර දෙන්නේ නෑ.හමුදා කදවුරු වාගේ තමයි පන්සල තියාගෙන ඉන්නේ. බුදු හාමුදුරුවෝ නම් එහෙම කියලා නැතුව ඇති.
අපි කියන්නේ අපි පදිංචිවෙලා හිටපු අපේ ඉඩම්වල පන්සල් හදන්න එපා කියලා විතරයි. පන්සල් හදන්න අපේ ගමේම වෙනම ඉඩමක් තියෙනවා. ඒකේ ගිහිල්ලා පන්සලක් හදාගන්නකෝ. අපිට අපේ නිදහස ලබාදීලා කියලා තමයි අපි ඉල්ලන්නේ.
තිස්ස විහාරය සම්බන්ධයෙන් උතුරේ දේශපාලන නායකයින්ගේ මතය.
තිස්ස විහාරය ඉදිකිරීමට විරුද්ධව පසුගිය සමයේ විවිධ පාර්ශව විසින් විරෝධතා වැඩසටහන් රාශියක් පැවැත්වු අතර,ඊට යාපනය දිස්ත්රික්කයේ සියළු දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්විණ.
ආණ්ඩුවට පක්ෂපාති දේශපාලන පක්ෂ නියෝජිතයින් හා යාපනය දමිළ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද ඊට එක්ව සිටියහ.
යාපනය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අංගජන් රාමනාදමන්, ගජේන්ද්රකුමාර් පොන්නම්බලම්, සෙල්වරාජා ගජේන්ද්රන්, එම්.ඒ.සුමන්තිරන්, ටි.සිද්ධාර්ථන්,එස්.ශ්රීධරන් ඇතුළු යාපනය දිස්ත්රික්කයේ සියළු මන්ත්රීවරුන් අදාළ විරෝධතාවයටන්ට සහයෝගය පළ කරමින් පැවසූවේ දමිළ ජනතාවගේ ඉඩම් තුළ තිස්ස විහාරය ඉදිකිරීම වහාම නවතා දමන ලෙසයි.
සිවිල් සංවිධාන රැසක්ද දමිළ ජනතාවගේ ඉඩම් පවරාගෙන තිස්ස විහාරය ඉදිකිරීමට විරුද්ධත්වය පළ කරමින් විරෝධතා පැවැත්වූහ.
තිස්ස විහාරය හා ප්රදේශයේ දමිළ ජනතාව අතර පවතින ගැටළුව සම්බන්ධයෙන් විමසීමට තිස්ස විහාරායේ විහාරාධිපති හිමියන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද උන් වහන්සේ දුරකථයට සම්බන්ධ කර ගැනීමට නොහැකිවිය.