
අපට දෙන්නේ, මැරුණාම මිනීපෙට්ටිය විතරයි!
Published
අපට දෙන්නේ, මැරුණාම මිනීපෙට්ටිය විතරයි!
මාස තුනකට වැඩි කලක් අඛණ්ඩ වර්ජනයක යෙදෙන රම්බොඩ ආර්.බී. වතුයායේ සේවකයන්ගේ කතාව
රම්බොඩ පිහිටා ඇත්තේ නාවලපිටියේය. කඳුයායවල්වලින් වට වූ මෙවැනි පෙදෙසකට යන ඔබට සුන්දර තේ වතු දිස්වනු ඇත්තේ, සිහින් මීදුම් රැළි කඳු මුඳුන් පිසින හැටි සිනමා රූප මෙන් ඔබේ දෙනෙත් ඉදිරිපිට මැවෙද්දීය. ලංකාවෙන් ලෝකයට ගිය, අතිප්‍රකට සිලෝන් ටී සහිත, මිලාධික තේ කෝප්පයක් තොලගාමින් ඔබට මේ සුන්දර දර්ශනය රසවිඳින්නට හැකි නම්, අහා! ඔබ වාසනාවන්තය.
මේ කතාව ඉදිරියට ගෙනයෑමට, ඔබ ඡායාරූප ශිල්පියෙකු යැයි හිතට මවා ගනිමු. ඔබ සොයන්නේ සෞන්දර්ය පමණක් නම්, ඔබේ කැමරාවට නැගිය යුත්තේ, දුර රූපය.
එහෙත් මෙවර යෝජනාව සමීප රූපයකට යන්නය. ඔබ ඔබේ කැමරා කාචය සමීප රූපයක් දක්වා ළං කරන්නට ගතහොත්, ටිකෙන් ටික කඳුවැටි අතර ඇති ලැයිම් කාමර කැමරාවලට හසු වනු ඇත. තව තවත් කැමරා කාච සමීප රූප කරා යොමු කළොත්, ඔබට පෙනෙනු ඇත්තේ අමානුෂික ලෙස සූරාකෑමට ලක්වන මිනිසුන්ගේ වේදනාබර මුහුණුය.
අසාධාරණයෙන් තැලෙමින්, ජීවන යුද්ධයේ අතුරු ප්‍රතිඵල වූ සකලවිධ ගින්දරවලින් දැවෙමින්, වේදනාවෙන් තැවෙමින්, බලවතුන් ළඟ නැවෙමින්, කිසිදෙයක් කරගත නොහැකි තැන හඬමින් ගතකෙරෙන ජීවිත ඔබට දිස්වනු ඇත.
ඔබ ඒ ජීවිත දෙස බැලිය යුතුය. එහෙත් එකම එක වරදක් නොකළ යුතුය. ඔබ ඒ ජීවිත දෙස බලා ‘අනේ පව්‘ කියා අනුකම්පා නොකළ යුතුය. පීඩිතයන් හැමදාම පීඩා විඳිමින් සිටින්නේ ඔය සුසුම් නිසාය. මේ ජනතාව ඉන්දියාවේ සිට පැමිණ අවුරුදු 200ක් සම්පූර්ණ වීම නිමිති කරගනිමින් මන්නාරමේ සිට මාතලේ දක්වා ගමන් කොට පසුගියදා අවසන් වූ, ‘අභිමානවත් මලයග ජනතාව‘ යන තේමා පාඨය රැගත් පාගමන රටටම කී ඉතා වැදගත් කතාවක් ඇත.
ඔවුන්ට අවශ්‍ය ඔබේ අනුකම්පාව නොවේ. ඔවුන්ට මේ හැම පීඩාවක්ම හැමදාම දරාගෙන, අනුකම්පා සුසුම්වල පහස විඳිමින් ඉන්නට බැරිය. හැම අසාධාරණයකටම ඉඩ දී නිහඬ වී සිටිය නොහැක. කාගේවත් යට නැවෙන්නේ නැතිව මලයග ජනතාව නැගිටින්නට ඕනෑය. රම්බොඩ ආර්.බී. ඩිවිෂන් වතු යායට යොමු වන ඔබේ කැමරා කාචයට පෙනෙනු ඇත්තේ ඒ සටනය. ඒ සටන නවත්වන්නට, ඔවුන්ගේම වෘත්තිය සමිති නියෝජිතයන් මෙන්ම වතු හිමියන්ද සියලු අවි පාවිච්චි කරමින් සිටින අයුරුත් ඔබට පෙනෙනු ඇත.
සරල බසින් ඔවුන්ගේ සටනේ කතාව මෙසේය. තමන්ට හිමි විය යුතු EPF / EPF මුදල් සහ අනෙකුත් පහසුකම් ඉල්ලමින් දැන් අවස්ථා අටකදී පමණ ඔවුන් අඛණ්ඩ වැඩ වර්ජනවලට යොමු වී ඇත. මෙම වතුයායේ අයිතිය සම්බන්ධ ගැටලුවක් කාලයක පටන් තිබී ඇත. මේ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග පවා ක්‍රියාත්මක වී ඇත. ඒ පසුබිමේ තැලෙමින් ඉන්නේ සේවකයන්ය.
සේවකයන්ගේ පැත්තෙන් බැලූ කල, ඔවුන්ගේ සේවය ලබා ගන්නා හාම්පුතුන් මූලික සේවක අයිතීන් තහවුරු කරගත යුතුය. එය ඔවුන්ගේ වගකීමක් නොව, එය රටේ නීතියයි. විශ්‍රාම අරමුදල්වලට මේ සේවකයන්ගේ වැටුප් කපා ගත්තද, එම කපා ගත් වැටුප් කිසිවිටෙක ඊපීඑෆ්/ඊටීඑෆ් ආදී විශ්‍රාම අරමුදල්වලට බැර කර නැත. මෑත කාලයේ වර්ජන අටක පමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක වුණේ එම අසාධාරණය පෙරටු කරගෙනය.
2023 මැයි 16 ඇරඹුණේ ඔවුන්ගේ අලුත්ම වැඩ වර්ජනයයි. දැන් මාස තුනක් තිස්සේ ඒ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
එහෙත්, ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගයට පාලනාධිකාරියෙන් ලැබුණේ හිත්පිත් ඇති ප්‍රතිචාර නොවේ. ඒ වෙනුවට අවස්ථා තුනකදී සේවකයන් බියගැන්වීම සඳහා ලියුම් යොමු කර ඇත. මේ මිනිසුන් යනු, හදවත් ගැහෙන, දරුවන් බිහිකරන, දුක-සැප විඳින මිනිසුන් නොවේ. ඔවුන් හුදෙක් සම්පත් පමණි. තේ වත්තක ඉඩම, තේ ගස් ටික, යන්ත්රසූත්ර, වාහන මෙන් සේවකයන් අජීවී සම්පතකි.
ඒ සම්පත්වලින් ප්‍රයෝජනයක් නැති නම් එළවා දැමිය යුතුය. ඒ ඔවුන්ගේ තර්කනයය.
2023 ජුලි 05 වැනිදා ලබා දුන් ලිපියේ මෙසේ සඳහන් විය. ‘2023 මැයි 16 සිට ඔබ කිසිදු ආකාරයෙන් සේවයට වාර්තා කිරීමක් සිදු කර නැත. ඔබට දැනුම් දෙන්නේ, ඔබ සේවයට නොපැමිණි නිසාත්, ලිපිවලට ප්‍රතිචාර නොදැක්වූ නිසාත් මෙය අවසන් දැනුම් දීම ලෙස සලකන ලෙසය. මෙම ලිපිය ලැබීමෙන් පසු ඔබ සේවයට වාර්තා කළ යුතුය. දින 7ක් ඇතුළත සේවයට වාර්තා නොකළොත් ඔබ කැමැත්තෙන් සේවය හැර ගිය සේ සලකනු ලැබේ. ඔබගේ නාමය සේවක ලැයිස්තුවෙන් ඉවත කරනු ඇත. සේවය හැර ගිය පසු ඔබ සිටින ලැයිම් නිවාසය දින 15ක් තුළ අත්හැර යා යුතුය. එය වතු හිමිකරු වෙත ලබා දිය යුතුය. එසේ නොවුණහොත් ඔබට එරෙහිව නීතිමය පියවර ගනු ඇත. ඔබ වෙනුවට සේවය සඳහා බඳවාගන්නා නව පුද්ගලයන්ට නිවාසය ලබා දෙනු ඇත. ඔබ සේවයට වාර්තා නොකිරීමෙන් සිදු වන පාඩුව ඔබෙන් අය කරගනු ඇත.‘
මීදුම් පටලවල සුන්දරත්වයෙන් එහා සොයන ඔබේ කැමරා කාචයට දැන් එක් ධෛර්යවන්ත මිනිසෙකු හසු වනු ඇත. ඔහු ගමේ සිට සටන් වදින කණ්ඩායමේ නායකයාය. ඔහුගේ නම එස්. රාජේන්ද්‍රන්ය. ඔහු මෙසේ කියයි.
‘1991 සිට අපි මේ පාලනය යටතේ වැඩ කරනවා. නිර්මලා වෙල්ලසාමී වත්තේ සේවයට අපව ගත්තා. එහෙත් ඒ කාලයේ අපට ඊපීඑෆ් ඊටීඑෆ් ලැබුණේ නෑ. ඊට පස්සේ 2015 දී අයිතිකරු මාරු වෙලා පුෂ්පරාජ් ආවා. ඒත්, ඊපීඑෆ් ගෙව්වේ නෑ. අපි ගොඩක් අයව හමුවෙලා මේ ගැන කීවා. වෘත්තිය සමිතිය ඇතුළුව. ඔවුන් කීවා අපට විවිධ දේවල් කරනවා කියලා. ඒත් ඔවුන් අපට කිසි දෙයක් කළේ නෑ.‘
ඔවුන් 1991 සිට වැඩ කරනවායැයි කීවේ, දැන් වර්ජනයේ යෙදී සිටින සේවකයන් සේවයට එක් වූ කාලයයි. ඔවුන්ගේ පරම්පරා ගණනක් ජීවත්ව සිටින්නේ මේ වතු යායේමය.
‘2019 දී අපි පුෂ්පරාජ්ගේ පාලනයට එරෙහිව අවුරුද්දක් ගෙදර නැවතිලා වර්ජනයක නිරත වෙලා හිටියා. ඔවුන් බලහත්කාරයෙන් අලුත් මුදලාලි කෙනෙක් ගෙනාවා. ඒ කෙනා ඊපීඑෆ් ගෙවාවි කියා කිව්වා. පුස්සැල්ලාව සීඩබ්ලිව්සී ඔෆිස් එකේ ඉන්න භරත් එකඟතාවකට ආවා, අපට ඊපීඑෆ් ගෙවනවා කියලා.
ඔවුන් කීවා අපට ගෙවන්නම් කියලා. ඒත් ගෙව්වේ නෑ.
2023 මැයි 16 වැනිදා සිට අපි වැඩට නොගිහින් හිටියා. අපි ගැන කිසිම කෙනෙක් හොයා බැලුවේ නෑ. ඒත්, ලියුම් තුනක් ආවා. ඒ ලියුම් ආවේ 65 දෙනෙකුට. ඒ ලියුම්වල කීවේ, ඔබට වැඩට ආවේ නැත්නම් ගෙවල් නැති වෙන බව.
අපි එක්ක කිසි කෙනෙක් සාකච්ඡා කළේ නෑ.
කැලෑ වූ ඉඩම් ටිකක අපි එළවලු ටිකක් හිටෙව්වා. ඒත්, පොලීසිය මැදිහත් වෙලා අපට විරුද්ධව බලපෑම් කළා. අපට ඒ ඉඩම් දින තුනකින් අයින් කරන්න කීවා. මාවත් පොලීසියට ගෙන්නලා ඉඩම්වලින් අයින් වෙන්න කිව්වා.
අපි දන්නෑ මොනවද කරන්නේ කියලා. කවුරුත් අපි ගැන හොයා බලන්නේ නෑ.
ඒ හැරුණාම අපට කිසි දෙයක් නෑ. අපට ඉස්කෝල නෑ. ඔවුන් අපට සල්ලි දුන්නේ කවුරුහරි මැරුණාම මිනී පෙට්ටිවලට විතරයි. ළමයි හම්බවුණ කෙනෙකුට හයර් එකක් යන්නත් සල්ලි නෑ.
රෝහලක් නෑ. අම්මා කෙනෙක්ට ළමයෙක් හම්බවෙන වෙලාවක වුණත් ප්‍රවාහන පහසුකම් නෑ.
අපි මේ කතා කරන්නේ මොකක්හරි සහයෝගයක් ඔබෙන්වත් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.‘
මෙහිදී ඔවුන් සීඩබ්ලිව්සී කියා කියන්නේ ලංකා කම්කරු කොංග්රසයයි. සාමාන්‍ය ජනතාවගේ දැනුම අනුව ‘තොණ්ඩමාන්ලාගේ පක්ෂය‘යි. මැතිවරණවලට ඉදිරිපත් වන දේශපාලන පක්ෂයක් මෙන්ම, වෘත්තිය සමිතියක් ලෙසත් ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරයි. එහෙත්, මේ කියන වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ ලංකා කම්කරු කොංග්‍රසය සමග අනුබද්ධ වී නොවේ. එයින් ස්වාධීනවය.
ඔවුන් කියන පුෂ්පරාජ්ලා යනු, මුදලාලිලා යනු මේ වත්තේ අයිතියට ඇති නීතිමය බෙදීම් මැද වත්තේ පාලනයට තරග කරන කණ්ඩායම්ය.
ඇත්තෙන්ම ලංකා කම්කරු කොංග්‍රසය වරින් වර මැදිහත් වී ඇත්තේ වත්තේ අයිතිය පිළිබඳ නීතිමය බෙදීම් අස්සේ අලුත් මුදලාලිලා පත් කිරීමටත්, ඒ මුදලාලිලාගෙන් සේවකයන්ට ලැබෙන දේවල් ගැන ‘කඩවීමට නියමිත‘ පොරොන්දු ලබා දීමටත් පමණි.
ඔබේ කැමරා කාචය, ලැයිම් නිවාස පෝළිමක් ඉදිරිපිට සිටගෙන සිටින වැඩිහිටි කාන්තාවන් පිරිසක් දෙසට යොමු කළහොත්, එක අම්මා කෙනෙකු මෙසේ කියනවා ඇසෙනු ඇත.
‘අපි 1991 ඉඳන් වැඩ කරනවා. එකිනෙකට වෙනස් මුදලාලිලා ඇවිල්ලා යනවා. ඒත්, අපි මුහුණදෙන්නේ එකම ප්‍රශ්නයට. ඔවුන් අපව ගිවිසුම් අත්සන් කරන්න අරගෙන ගිය. ඔවුන් අපව නාවලපිටියට අරන් ගියා. ඔවුන් අපව විවිධ තැන්වලට අරන් ගියා.
ඒත්, ප්‍රශ්නයට කිසිම විසඳුමක් නෑ.වෘත්තිය සමිති උදව්වට ආවේ නෑ. වෘත්තිය සමිති අලුත් මුදලාලිලාව මාරු කරනවා විතරයි.
අපි දැන් මාස ගාණක් තිස්සේ වර්ජනය කරනවා. වෘත්තිය සමිතිය අපට කියන්නේ ආයෙත් වැඩට යන්න කියලා. කිසිම කෙනෙක් අහන්නේ නෑ ඔබට තියෙන ප්රශ්නය මොකක්ද කියලා. මෙහේ වැඩ කරන මිනිස්සුන්ට කිසි දෙයක් නෑ. අපි විශ්වාස කරලා වැඩට ගියේ. ඒත්, අපට සලකන්නේ මෙහෙමයි.‘
ඇයට එහාපැත්තේ සිටින අනෙක් අම්මා මෙසේ කියනු ඇත.
‘මම මෙහේ ඇවිල්ලා අවුරුදු 54ක්. මම ඉපදුණේ මෙහේ. මගේ අම්මා ඉපදුණේත් මෙහේ. මේ වත්තේමයි. අම්මා 2020 දී මැරෙනකොට අවුරුදු 72යි. මගේ සැමියාත් මෙහේ. මගේ අම්මා මැරුණ වෙලාවේ ඇගේ මිනී පෙට්ටයට රුපියල් 3000ක් දුන්නා. මගේ දරුවාත් මැරුණා. එතකොට නම් මිනී පෙට්ටියට සල්ලිවත් දුන්නේ නෑ. ඒ මිනී පෙට්ටිය හැරුණාම. ඔවුන් අපට වෙන කිසිම දෙයක් දීලා නෑ.‘
ආර්.බී. කොටසේ හිමිකාරීත්වය පිළිබඳ කතාන්දරය මඳක් සංකීර්ණය. අභියාචනාධිකරණයේ විභාග වූ ඒපීඑන් 16/2016 අංකය හිමි, ඉඩමේ අයිතිය පිළිබඳ නඩුවේ ඇති තොරතුරු මූලාශ්‍ර කරගත හැකිය. රම්බොඩ වතුයාය අක්කර 837කින් යුතුය. එහි පිහිටි ආර්බී කොටස අක්කර 50කින් යුක්තය. රම්බොඩ වතු යාය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරාගෙන, ඉන් පසු නැවත මුල් හිමිකරුවන්ගේ දරුවන් වෙත පැවරූ වතුයායකි. කෙසේ වෙතත්, මෙලෙස පැවරීමෙන් පසු වතු යායේ අයිතිය පිළිබඳ ගැටුම් ඇති වී තිබේ.
වතුයාය නිසිපරිදි නඩත්තු නොකරන බවත්, කැලෑවක් මෙන් පවත්වාගෙන යන බවත් කම්කරුවෝ චෝදනා කරති. වත්තේ ප්‍රමිතියේ ගැටලු නිසාම, සතියේ වැඩ කරන දින ගණන අඩුය. එවිට මාසිකව ලැබිය හැකි වැටුපත් අඩුය. නිසිපරිදි වැටුප් ගෙවන්නේ නැත. විශ්‍රාම අරමුදල්වලට මුදල් යොමු නොකිරීමට අමතරව මේවා ඔවුන් මුහුණදෙන ගැටලුය.
ලංකා කම්කරු කොංග්‍රසය සේවකයන්ගේ වෘත්තිය සමිතිය විය යුතු වුණත්, ඔවුන්ට වැඩිපුර වටින්නේ මේ වතු යායේ පාලනාධිකාරියය. එට ප්‍රධාන හේතුවක් ලෙස දැනගන්නට ඇත්තේ මෙම වතුයායේ හිමිකරුවන්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයන්ගේ ඥාති-හිතමිත්‍රාදීන් ගණයට අයත් වීමය.
පරම්පරා ගණනක් ජීවත් වූ ඉඩම් ඔවුන්ට අහිමි කරන්නට සූදානම්ය. තමන් ඉපයූ දීමනා කපා දැමීමට සූදානම්ය. කිසිදු පහසුකමක් නොදී, බලහත්කාරයෙන්ම ඔවුන්ගෙන් වැඩ ගන්නට සූදානම්ය. ඔවුන් දැන් අයිතීන් වෙනුවෙන් සටන් කරමින් සිටී. අප ඔවුන්ගේ සටනට පූර්ණ සහයෝගය දිය යුතුය.
The People’s Alliance for Right to Land (PARL)