
‘උරුමය’ වැඩසටහන සම්බන්ධයෙන් අප දැනගත යුතු කරුණු
Published
‘උරුමය’ වැඩසටහන සම්බන්ධයෙන් අප දැනගත යුතු කරුණු
1. රජයේ උරුමය වැඩසටහන යටතේ සිදුකෙරෙන්නේ කුමක්ද?
රජය පවසන ආකාරයට මෙය ශ්රී ලංකාවේ එතෙක් මෙතෙක් ක්රියාත්මකවී ඇති විශාලතම පෞද්ගලීකරණ වැඩසටහනයි. මේ යටතේ ඉඩම් ඒකක මිලියන 2 කට සින්නක්කර අයිතිය සහිත විකිණිය හැකි ඔප්පු ලබාදීමට නියමිතය. මේ යටතේ දීමනාපත්ර හා බලපත්ර යටතේ සීමිත ඉඩම් අයිතියකට යටත්ව භුක්තිය සඳහා ජනතාවට ලබාදී ඇති ඉඩම් සඳහා නිදහස් ප්රදාන පත්රයක් ලබාදී එම ඉඩම්වලට විකිණිය හැකි සින්නක්කර ඉඩම් අයිතියක්ල බාදෙනු ලැබේ.
2. උරුමය වැඩසටහන යටතේ ඔප්පු ලබාගත හැක්කේ කාටද?
දැනට රජයේ බලපත්රයක් හෝ දීමනාපත්රයක් යටතේ රජයේ ඉඩමක් භුක්ති විඳින ඕනෑම අයෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී තමන් සතු බලපත්රය හෝ දීමනාපත්රය ඉදිරිපත් කළ යුතුය. දැනට දීමනාපත්රයක් හෝ බලපත්රයක් අහිමි කිසිවකුට මේ යටතේ ඔප්පු හිමි නොවේ. ඒ අනුව කඳුකරයේ ඉඩම් අහිමි ජනයාට හෝ උතුරේ හා නැගෙනහිර යුද කාළය හෝ ඉන්පසු ඉඩම් ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇති ජනයාට හෝ නාගරික ඉඩම් හෝ නිවාස අහිමි ජනයාට මේ යටතේ ඉඩම් අයිතියක් හිමි නොවේ. සංවර්ධන ව්යාපෘති නිසා අවතැන්ව සිටින ජනයාගේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයක් යොමු නොවේ.
3. දැනට තිබෙන බලපත්ර හෝ දීමනාපත්ර යටතේ පවතින ඉඩම් සම්බන්ධයෙන් රජයට ඇති බලතල මොනවාද?
දැනට බලපත්ර හෝ දීමනාපත්ර යටතේ ලබාදී ඇති ඉඩම් ලබාදී ඇත්තේ කෘෂිකාර්මික කටයුකු සඳහාය. එම ඉඩම්බලපත්ර හෝ දීමානාපත්ර හිමියාගේ පවුලෙන් (ලේ උරුමයෙන්) බැහැරට පැවරිය නොහැක. එම ඉඩම් සම්බන්ධ පැවරීම්වල අවසාන තීරකයා වන්නේ ප්රදේශීය ලේකම්වරයා ය. පවුලෙන් පිටතට ප්රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් පැවරීම් වන අවස්ථාවලදී පවා එම ඉඩම් ගොවි පංතියෙන් බැහැරට පැවරිය නොහැක. ප්රාදේශීය ලේකම්වරයාගේ අවසරය මත ඉඩම උකස්කළ අවස්ථාවක එය සින්න වුවද නැවත එය පැවරිය හැක්කේ ගොවි පංතියේ අයෙකුට පමණි. මේ අනුව එම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි පවුල් වෙතම හිමිවන බවටත්, එයින් පිටස්තර කිසිවකුට එම ඉඩම් නොලැබෙන බවටත් රජයේ නියෝජිතයා ලෙස ප්රාදේශීය ලේකම්වරයා වගබලා ගනී. එම ඉඩම් සම්බන්ධයෙන් වන ගැටලු නිරාකරණයේදීද ප්රාදේශීය ලේකම්වරයා මැදිහත් වේ.
4. දැනට ඉඩම් හිමිකම සම්බන්ධයෙන් ගැටලු පවතින ඉඩම්වලට මේ වැඩසටහන තුල කුමක් සිදුවනු ඇතිද?
දැනට මේ සියලු ඉඩම් රජය සතුවන බැවින් කවර හෝ ගැටලුවක් නිර්ණය කිරිමේ බලය රජයේ නියෝජිතයා වන ප්රාදේශීය ලේකම් සතු වේ. නමුත් සින්නක්කර ඔප්පුවක් නිකුත් කළ පසු ඉඩම සම්බන්ධයෙන් රජයේ වගකීම අවසන් වන අතර සින්නක්කර ඉඩමේ අයිතිය නිදහසේ වෙළඳපොල තුල අතින් අතට මාරුවිය හැක. එවන් අවස්ථාවක ඉඩම සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියන වෙනත් පාර්ශ්වයන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන්ර ජයට මැදිහත්විය නොහැක. ‘උරුමය’ වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදීමේදී ඒ සම්බන්දයෙන් අතෘප්තිය පත් වන පාර්ශ්වයන්ට අභියාචනය කිරීමේ ක්රමයක් නොමැති අතර එවැනි දුක්ගැනවිලි සම්බන්ධයෙන් විමර්ෂණයකර වැරදි ප්රතිවත්ය කිරීමේ කාර්ය පටිපාටියක්ද නොමැත. මේ අනුව යම්හෙයකින් සින්නක්කර ඔප්පු ලබාදීමේදී වරදක් සිදුවුවහොත් අගතියට පත්වන පාර්ශ්වයන්ට කළහැකි දෙයක් නොමැත. මෙය අලුතින් ඉඩම් ආරවුල් නිර්මාණය කරනු ඇති අතර තිබෙන ආරවුල් සමහරවිට තවදුරටත් තීව්ර කරනු ඇත.
5. සින්නක්කර ඔප්පුවතින් හිමිවන ඉඩමකට කළහැකි දේ මොනවාද?
සින්නක්කර ඔප්පුවක් හිමි ඉඩමක් එකී ඔප්පු හිමියාට මනාප ආකාරයකින් භාවිතා කළ හැකිය. එහි කෘෂිකාර්මික කටයුතු නොකොට ඵලදායී අයුරින් භාවිතා නොකිරීම මත ඔහුට හෝ ඇයට කිසිදු ප්රශ්ණයකට මුහුණදීමට සිදු නොවේ. ඔප්පුව හිමි තැනැත්තාට මනාප ඕනෑම අයෙකුට ඉඩම තෑගි දීමට හෝ විකිණීමට හැකිය. එහිදී ගොවි පංතියෙන් පිටතට පැවරිය නොහැකිවීම වැනි කවර හෝ සීමාවක් නැත. ඔප්පුව හිමිකරුට අවශ්ය නම් කිසිදු බාධාවකින් තොරව ඉඩම උකස් තැබිය හැකිය. ඉඩම සින්නවුවහොත් ණය හිමිකරුට තමන් කැමති ඕනෑම අයෙකුට ඉඩම විකුණා දැමිය හැකිය.
6. ‘උරුමය’ වැඩසටහන යටතේ සින්නක්කර ඉඩමක් හිමිවීමේ අවාසි තිබේද?
පළවැනි අවාසිය වන්නේ මෙමඟින් දැනටමත් පවතින ඉඩම් ගැටලු තවදුරටත් ව්යාකූලවීමේ ඉඩක් ඇත. එනම්, මේ වන විට බොහොමයක් ඉඩම් හිමියන් අත තමන්ගේ බලපත්රය හෝ දීමනාපත්රය නොමැත. ණය හෝ උගස් ඇප ලෙස අවිධිමත් ආකාරයෙන් ඒවා අන්සතු වී ඇත. එමෙන්ම බලපත්ර හා දීමනාපත්ර හිමිවූ මුල් පරම්පරාව මිය යන අවස්ථාවේදී පසු උරුමය නම්කොට නොතිබීම නිසා මේ වන විට විශාල ඉඩම් ගැටලු ප්රමාණයක් නිර්මාණය වී ඇත. මේ අනුව සමහරවිට මේ වන විට ඉඩම සංවර්ධනයකර වගා කරන්නේ බලපත්රය හෝ දීමනාපත්රය තමන් සන්තකයේ තබාගෙන සිටින තැනැත්තා නොවේ. සමහරවිට ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව ඉඩමේ අයිතිය හිමිව ඇති පවුලේ වැඩිමහල් දරුවා මේ වන විට ජීවත්වන්නේ රටේ වෙනත් ප්රදේශයකය. ඉඩම වර්තමානයේ කවුරුන් විසින් භුක්ති වින්දද ඉහත කී විවිධාකාරයෙන් බලපත්ර හා දීමනාපත්ර තමන් සන්තකයේ තබාගෙන සිටින අය එම ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ඉල්ලා සිටිය හැකිය. මෙය දැනටමත් පවතින ව්යාකූල තත්ත්වය තවදුරටත් ව්යාකූල කරනු ඇත. දෙවැනි අවාසිය මතු වන්නේ සින්නක්කර ඉඩම් අයිතිය හිමිවූ පසු එම ඉඩම් බාධාවකින් තොරව විකිණීමට හා උකස් තැබීමට හැකිවීම නිසා මතුවිය හැකි තත්ත්වයන් විසින් ඇතිකරන ගැටලුය. එනම්, සින්නක්කර ඔප්පුව හිමිවූ තැනැත්තා ඉඩම විකුණා දැමුවහොත් ඔහු හෝ ඇයගේ පවුල සහ ඔවුන්ගේ අනාගත පරම්පරාවට කිසිදු ඉඩම් අයිතියක් අහිමිව යයි. මෙහිදී එම තැනැත්තාගෙන් යැපෙන කාලත්රයා (බොහෝවිට බිරිඳ) අසරණ වියහැකිය. ඉඩම ඉතා පහසුවෙන් උකස් තැබිය හැකි නිසා මුදල් අවශ්යතාවන්හිදී ඉතා පහසුවෙන් ඉඩම් උකස් තැබීමට සින්නක්කර ඔප්පු හිමියන් පෙළඹිය හැකි අතර දුරදිග නොබලා සිදුකරන එවන් තීරණවල අවසන් ප්රතිඵලය ණය මුදල් ගෙවීමට නොහැකිව ඉඩම සින්නවීම වියහැකිය. එහිදී පෙර කී පරිදිම එම පවුල අසරණ වේ. සින්න වූ ඉඩම ණය හිමියාට ගොවි පංතියටම නොව ඕනෑම අයෙකුට විකුණා දැමිය හැකිය. එවිට මෙම ඉඩම් ගොවි පංතියෙන් බැහැර ඉඩම් සඳහා ආයෝජනය කළහැකි ඕනෑම ධනවතෙකු අතට පත්විය හැකිය. එය මෙරටේ කෘෂිකර්මාන්තයටද බලපානු ඇත.
කුඩා ගොවීන් ලක්ෂ 20 කට විකිණිය හැකි ඔප්පු ලබාදෙන යෝජනාව ගේන්නේ ආදරේටද
භූමිය කියන්නේ අපි අනාගත පරම්පරාවෙන් ණයට ගත්ත දෙයක්
7. උරුමය වැඩසටහන යටතේ හිමිවන සින්නක්කර ඔප්පුවකින් ලැබෙන ඉඩමක් විකිණීමෙන් එම පවුලට සිදුවන අවාසි මොනවාද?
ආර්ථික හෝ මොනයම් හේතුවක් මත පහසුවෙන් විකිණිය හැකි ඉඩමක් විකිණූ පසු එම පවුල ඉඩම් අහිමි පවුලක් බවට පත්වේ. කෘෂිකාර්මික කටයුතුවල යෙදීමට ඉඩමක් නොමැති තත්ත්වයක් තුල පවුලේ ආර්ථිකය තවදුරටත් කඩාවැටීමේ ඉඩක් ඇත. යම් අවස්ථාවක ඔප්පු හිමියා ගන්නා නුසුදුසු තීරණයක් නිසා එහි ප්රතිඵල සමස්ථ පවුලටම භුක්ති විඳීමට සිදුවේ. දැනට පවතින් බලපත්ර හෝ දීමනාපත්ර යටතේ පවතින ඉඩම්වල එකී බලපත්ර හෝ දීමනාපත්ර හිමියා මියගිය පසු ඔහුගේ බිරිඳට එම ඉඩමට ප්රාණ භුක්තිය හිමිවේ. නමුත් ඉඩමක් විකුණා දැමූ පසු එවන් පිළිසරණයක් බිරිඳට හිමි නොවේ. ඊළඟ පරම්පරාව, එනම් දරුවන්ටද කිසිදු ඉඩම් අයිතියක් නොමැති තත්ත්වයට මුහුණ දීමට සිදුවේ. ඉඩම යනු අනන්යතාවේ කොටසකි. යමෙක් කිසියම් ගමකට අයිතිවනවා යනු එම ගමේ ඉඩම් හිමිකාරත්වයක් දැරීමයි. එම තැනැත්තා ස්ථිරව ඉඩම පිහිටි ගම හා පරිසරය හා බැඳී සිටී. නමුත් විකිණීම නිසා ඉඩම් අහිමිවීමෙන් පසු සමස්ථ පවුලටම එම අනන්යතාව අහිමිවන අතර අක්මුල් නැතිව තැන තැන යන තත්ත්වයකට එම පවුල පත්විය හැකිය. උකස් කරන ඉඩමක් සින්නවීමෙන් පසු ඇතිවන්නේද පෙර කී තත්ත්වයම ය.
8. උරුමය වැඩසටහන කාන්තාවන්ට විශේෂයෙන් ඇතිකරන බලපෑම් මොනවාද?
රජයේ ඉඩම් ලබාදිමේදී දීමනාපත්ර හා බලපත්ර බොහෝවිට ලබාදී ඇත්තේ පිරිමින්ට ය. මෑතක් වන තුරුම පසු උරුමය නම් නොකොට දීමනාපත්ර හෝ බලපත්ර හිමියා මියගිය විට එම ඉඩම් හිමිවූයේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවාටය. මේ අනුව අතිබහුතරයක් දීමනාපත්ර හා බලපත්ර දරන්නන් පිරිමින්ය. ‘උරුමය’ යටතේ සින්නක්කර ඔප්පු ලබාදීම සිදුවන්නේ දීමනාපත්ර හා බලපත්ර හිමියන්ට වන නිසා අලුතින් සින්නක්කර ඔප්පු හිමිවන අතිබහුතරය වන්නේ එම පිරිමින්ය. මේ අනුව මෙය නැවත වටයකින් පිරිමින්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමකි. සින්නක්කර ඉඩම් අයිතිය හිමිවූ පසු එම ඉඩම් විකිණීම, උකස් තැබීම හෝ තමන් කැමති ඕනෑම අයෙකුට තෑගි දීම කළහැකි බැවින් කිසිදු සීමාකිරීමකට යටත් නොවී පවුලේ සෙසු සාමාජිකයින්ගේ ආර්ථීකය හා ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ බලයක් ඉඩම හිමි පිරිමියාට මෙයින් ලැබේ. කලින් ඉඩම් හිමියා මියගිය අවස්ථාවේදී බිරිඳට එම ඉඩමට ජීවිත භුක්තිය හිමිවූ නමුත් විකුණන ලද සින්නක්කර ඉඩමකට එවන් අයිතියක් බිරිඳට නොලැබේ. මේ සියල්ල තුල මෙම සින්නක්කර ඔප්පු කාන්තාවන්ට සුවිශේෂී ලෙස අසාධාරණ හා අයුක්ති සහගත ලෙස බලපානු ඇත.
9. උරුමය වැඩසටහන යටතේ හිමිවන ඔප්පුවකින් ලැබෙන ඉඩමක් විකිණීමෙන් එම ප්රජාවට/ ගමට සිදුවන අවාසි මොනවාද?
දැනට තිබෙන දීමනාපත්ර හෝ බලපත්ර ගොවි පංතියෙන් පිටතට පැවරිය නොහැකිය. එමනිසා එම ඉඩම් හැමවිටම කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවෙන බවට සහතිකයක් ඇත. නමුත් සින්නක්කර ඉඩම් එසේ නොවේ. බොහෝවිට ධනවතුන් හා විශාල සමාගම්වලට මෙම ඉඩම් විශාල වශයෙන් මිළදීගෙන ඒවා කොටුකර විශාල ඉඩම් ඒකක නිර්මාණය කරගත හැකිය. එවැනි ඉඩම් මෙරට කෘෂිකර්මාන්තයේ ප්රධාන අරමුණ වන රටේ ජනතාවට ආහාර නිෂ්පාදනය කිරීමේ අරමුණට වෙනස්ව යොදවනු ලැබිය හැකිය. බොහෝවිට එම ඉඩම් අපනයනය ඉලක්ක කොටගත් වානිජ කෘෂිකර්මය වෙනුවෙන් යෙදවිය හැකිය. මෙරට වී ඇතුලු ආහාර භෝග නිෂ්පාදනයට අදාල ඉඩම් භාවිතා වන්නේ ඊට අවශ්ය වාරි පහසුකම්ද සම්පාදනය කෙරෙන වටපිටාවක් තුලය. නමුත් ඉහත කී ආකාරයට මහා පරිමාණයෙන් ඉඩම් වෙනස් ආකාරයෙන් භාවිතාවට ගැනීම තුල ගම තුල පවතින ආහාර භෝග නිෂ්පාදනයට යෙදවෙන ඉඩම්වලින් පවා නිසි ප්රයෝජනයක් ගැනීමට නොහැකිවීමේ ඉඩක් ඇත. දැනටද සමාගම් විසින් මහා පරිමාණයෙන් ඉඩම් කොටුකරමින් සිදුකෙරන වානිජ වගාවන් කෙරෙන ඉඩම් වටා දැවැන්ත විදුලි වැට ඉදිකිරීම නිසා ඒ අවට පිහිටි සාමාන්ය ගොවීන්ගේ ඉඩම්වලට වන අලින්ගෙන් වන හානි වැඩි වී ඇත. ජලය ලබාගැනීමේ ගැටලු ඇතිවී ඇත. මේ සියල්ලේ ප්රතිඵලය වන්නේ සෙසු ඉඩම්ද ඵලදායී ලෙස යොදාගත නොහැකි තත්ත්වයට පත්වීම සහ අවසානයේ ඒවාද මහා පරිමාණ සමාගමටම විකුණා දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි නොවිමයි.
10. උරුමය හරහා ලැබෙන සින්නක්කර ඉඩම් අන්සතුවීම අපේ ආහාර සුරක්ෂිතතාවට බලපානු ඇතිද?
රජය විසින් දිගින් දිගටම කියමින් සිටින්නේ කුඩා ඉඩම්වල සිදුකෙරන සුලු ගොවීන්ගේ ආහාර භෝග වගාව ඵලදායී නොවන බවයි. ඒ වෙනුවට විශාල ඉඩම්වල මහා පරිමාණයෙන් වානිජ භෝග වැවීම වඩා ඵලදායී බව නිතර පවසනු අසන්නට ලැබේ. සින්නක්කර ඉඩම් විකිණීම හා උකස් සින්නවීම් හරහා පාර කැපෙන්නේ මහා පරිමාණ වානිජ භෝග වගාවන් කරන අය අතට ඉඩම් පත්වීමයි. නමුත් මේ වානිජ භෝගවලින් රටේ ජනතාවගේ ආහාර අවශ්යතා සැපිරෙන්නේ නැත. කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදයේදී පවා මෙරට ජනතාව කුසගින්නේ නොසිටියේ මෙම සුලු පරිමාණ ආහාර භෝග වගාව නිසාවෙනි. අපේ ආහාර සුරක්ෂිතතාව ඇත්තේ එතැනය. මේ තර්ජනය එල්ල වී ඇත්තේ එම ආහාර සුරක්ෂිතතාවට ය.
11. රජය පවසන ආකාරයට උරුමය වැඩසටහන හරහා ශ්රී ලංකා ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන ක්රියාත්මක කරමින් රජය මේ වෑයම් කරන්නේ ජනතාවගේ ඉඩම් අයිතිය සහතික කිරීමටද?
ඉඩම් යනු ජනතාවගේ ආර්ථීක සුරක්ෂිතතාවේ මෙන්ම අනන්යතාවේද වැදගත් අංගයකි. නමුත් එය එසේ වීමට නම් ඉඩම් හිමිකාරත්වය ජනතාවට ලැබිය යුතුවාක් මෙන්ම එම ඉඩම් ජනතාවගේ සුභසිද්ධියට භාවිතා කළහැකි වියයුතුය. නැත්නම් ජනතාව විසින් ඉඩම් අයිතිය බැහැර කරනු ඇත (විකිණීම හෝ උකස් තැබීම හරහා). එවිට සිදුවන්නේ කලින් තිබූ සීමිත ඉඩම් අයිතියද අහිමිව ඉඩම් අහිමි පරපුරක් බිහිවීමයි. එය අතිශය විනාශකාරී ප්රතිඵල ගෙනදෙනු ඇත. එසේ නොවීමට නම් ඉඩම් අයිතිය සමඟ, එසේ ලැබෙන ඉඩම් ආර්ථීක වශයෙන් ඵලදායීව යොදාගැනීමේ තත්ත්වයන්ද නිර්මාණය විය යුතුය. නමුත් දැන් රජය කරමින් සිටින්නේ ‘උරුමය’ හරහා ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන අතරේ එම ඉඩම් ආර්ථික වශයෙන් ඵලාදායී ලෙස යොදාගැනීමට ඇති සෑම ඉඩක්ම අහුරාලීමයි. කෘෂිකර්මාන්තයට නිසි වෙලාවට ජලය ලබාදෙන්නේ නැත. එපමණක් නොව ජලය සම්බන්ධයෙන් නව නීති ගෙන එමින් ජලයට මුදල් අයකිරීමට සූදානම්වෙමින් ඇත. බීජ, පොහොර, කෘමිනාශක මිළ දැරිය නොහැකි තරම්ය. කෘෂි යන්ත්රෝපකරණ සඳහා පනවා ඇති අධික බදු නිසා ඒවාට විශාල ගෙවීම් කිරීමට ගොවියාට සිදුව ඇත. අස්වැන්නට නිසි මිළක් හෝ ඒවා මිළදී ගැනීමේ නිසි ක්රමවේදයක් නොමැත. ගොවීන්ට වගා ණයක් ලබාගැනීම මේ වන විට අතිශය අසීරු අතර මහා පරිමාණ ව්යාපාරිකයින්ට රිසි සේ ණය නිකුත් කරනු ලැබේ. දේශගුණික හේතු හා සතුන් නිසා සිදුවන වගා හානිවීම් වලට නිසි වන්දි හෝ වගා රක්ෂණ ක්රමයක් නොමැත. මේ වන විට ගොවියා ණය බරින් පීඩිතව සිටී. මේ තත්ත්වය තුල ලැබෙන සින්නක්කර ඉඩමට කුමක් සිදුවනු ඇතිද? මේ වෑයම ජනතාවගේ ඉඩම් අයිතිය සහතික කිරීමට නොවේ. ඒ මුවාවෙන් ජනතාවට ඇති සීමිත ඉඩම් අයිතිය පවා පැහැර ගැනීමේ වෑයමකි මෙය.
12. ‘උරුමය’ වැනි වැඩසටහනක් රජයට අවශ්ය වන්නේ ඇයි?
රජය විසින් ඉඩම් සම්බන්ධයෙන් පමණක් නොව ඉඩම්, කෘෂිකර්මාන්තය, ධිවර කර්මාන්තය, කුඩා කර්මාන්ත වැනි සියලු ක්ෂේත්ර සම්බන්ධයෙන් විශාල මැදිහත්වීම් කරමින් සිටියි. ඒ සියල්ල යටින් දිවෙන පොදු ලක්ෂණයක් ඇත. ඒ මේවායේ නිරතව සිටින සුලු ගොවීන්, සුලු ධිවරයින්, කුඩා කර්මාන්තකරුවන් අධෛර්යමත්කොට මහා පරිමාණ ආයෝකයින්ට එම ක්ෂේත්ර විවෘතකර දීමයි. දැනට ඒවායේ නිරත පිරිසට ඒ මහා පරිමාණ ආයෝජනවල කුලී ශ්රමිකයින් බවට පත්විය හැකිය. මෙය අද ඊයේ නොව දීර්ඝ කාළයක් තිස්සේ ලෝක බැංකුව, ජාත්යන්තර මූල්ය අරමුදල ඇතුලු ආධාර දෙන සංවිධාන විසින් මෙරට රජයන්ට කියමින් සිටි දෙයකි. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙවැනි එලැඹුමක් අවශ්ය බව ලෝක බැංකුව කියමින් සිටින්නේ 1950 ගණන්වල සිටය. ඔවුන්ට අනුව මෙරට සිදුවන කුඩා පරිමාණ ගොවීන්ගේ ආහාර භෝග වගාව ඵලදායී නොවේ. ඒ වෙනුවට මහා පරිමාණයෙන් විශාල ආයෝජන යටතේ විශාල වගාබිම් නිර්මාණය විය යුතුය. දැනට කෘෂිකර්මාන්තයේ නිරතව සිටින සුලු ගොවීන්ගෙන් කොටසකට මේ මහා පරිමාණ වගාබිම්වල ශ්රමිකයින් ලෙස සේවය කළ හැකිය. ඉතිරි ගොවි පවුල් වැටුප් ශ්රමිකයින් ලෙස නගරයට සංක්රමණය විය යුතුය. කෘෂිකර්මාන්තය සහ ඉඩම් හිමිකාරත්වය සම්බන්ධයෙන් රජයේ සියලු මැදිහත්වීම් සිදුකෙරෙන්නේ මේ අරමුණ වෙනුවෙනි. ‘උරුමය’ වැඩසහනේද අරමුණ එයයි. ඉඩම් අයිතිය ලබාදීමේ මුවාවෙන් විකිණිය හැකි ඉඩමක් ගොවියාට ලබාදී, ගොවිතැන කරගෙන යා නොහැකි තත්ත්වයක් නිර්මාණය කරනු ලැබේ. දැන් ගොවියාට ඉතිරිවන විකල්පය වන්නේ ඉඩම විකුණා දැමීමයි. එවිට මහා පරිමාණ වගාකරුවන්ට විවෘත වෙළඳපොලේදී එම ඉඩම් මිළදීගත හැකි අතර ඉඩම් අහිමි ගොවි ජනතාවට ඒවායේ කුලියට වැඩ කිරීමට හෝ රැකියා සොයා නගරයට සංක්රමණය වීමට සිදුවේ. ‘උරුමය’ මෙරට ගොවි ජනතාවට කරුමයක් වීමට නියමිත මෙනිසාවෙනි.
13. ‘උරුමය’ වැඩසටහන රටේ ආර්ථිකයට කවර බලපෑමක් ඇතිකරනු ඇතිද?
මෙරට ආහාර නිෂ්පාදනයේ තීරණාත්මක භූමිකාව ඉටු කරන්නේ සුලු පරිමාණ ගොවීන් විසිනි. සුලු ගොවියා මෙරට කෘෂි ආර්ථිකයේ පදනම බව මෙරට ඉඩම් නීතිය පදනමින්ම පිලිගෙන ඇත. නමුත් යම්හෙයකින් ඉහත කී ලෙස එකී ගොවීන්ගේ කෘෂිකර්මාන්තය අධෛර්මත් කරමින් ඵලදායී අයුරින් එහි නියැලීමට නොහැකි වන තත්ත්වයන් නිර්මාණය කරමින් මෙසේ සින්නක්කර ඉඩම් අයිතිය ඔවුන් වෙත ලබාදීම තුල එම ඉඩම් නිදහස් වෙළඳපොල වෙත නිදහස් වනු ඇත. එසේ සිදුවූ සෑම අවස්ථාවකම එම ඉඩම් ලබාගෙන ඇත්තේ මහා පරිමාණ වගාකරුවන් හා කෘෂි සමාගම් ය. රජයද, ඊට උපදෙස් දෙන ලෝක බැංකුවද දිගින් දිගටම කියමින් සිටින්නේ ආර්ථීක වශයෙන් ඵලදායී වන්නේ මහා පරිමාණ ඒක භෝග වගාවන් බවය. නමුත් පසුගිය දශක හතරකට වැඩි කාළයක් තිස්සේ මෙරට අත්හදා බැලුනු හා දැනටද ක්රියාත්මක එවැනි කවර හෝ ව්යාපෘතියකින් මේ රටේ ආර්ථිකයට සැලකියයුතු ඵලදායීතාවක් හිමිවී නොමැත. ඇත්ත වශයෙන්ම ඒවායින් සිදුව ඇත්තේ බලවත් ආර්ථීක හා සමාජීය විනාශයකි. මෙරට රජයන් විසින් උදම් අනමින් අරඹනු ලැබූ උක් වගාවන් (පැල්වත්ත, හිඟුරාන, කන්තලේ), දුම්කොල, බඩ ඉරිඟු, ගර්කින්, කෙසෙල්, අඹ යනාදී වගා ව්යාපෘති ලාභ නොලබනවා පමණක් නොව එමඟින් පරිසරයටත්, ජනතාවගේ සෞඛ්යයටත් බලවත් ගැටලු නිර්මාණයකොට ඇත. සිය වගාවන් අත්හැරදා එම වගාවන්නේ ශ්රමිකයින් බවට පත්වූ ගොවීන්ගේ ආර්ථිකයද තවදුරටත් කඩාවැටී ඔවුන් අසරණ බවට පත්කොට ඇත. මේ වක්රාකාරයෙන් පහසුකම් සලසන්නේ රටේ ජනතාවට නිසිදු ප්රතිලාභයක් නොමැති, රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව හා සෞඛ්යය අනතුරට ඇද දමන, අනාගත පරම්පරාවන්ට බලවත් පාරිසරික අර්බුද නිර්මාණය කරන පමණක් නොව රටේ ආර්ථිකයට විනාශකාරී වන ව්යාපාර වෙනුවෙනි.
14. මෙවැනි වැඩසටහන් පිලිබඳ ලෝකයේ වෙනත් තැන්වල අත්දැකීම් මොනවාද?
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව ලෝක ආහාර නිෂ්පාදනයේ වැදගත්ම භූමිකාව ඉටු කරන්නේ සුලු ගොවීන්ය. ආසියාවේ සහ උප සහරා අප්රිකාවේ මේ ප්රමාණය සමස්ථ ආහාර නිෂ්පාදනයෙන් 80% කි. අනෙක් අතට සුලු ගොවීන්ගේ ආහාර නිෂ්පාදනයේ විවිධත්වය වැඩි නිසා දේශගුණ විපර්යාස හා ලෙඩරෝග වලින් සිදුවන අස්වනු හානියකදී පවා සම්පූර්ණ වශයෙන් අස්වනු විනාශවී මහා පරිමාණ දුර්භික්ෂ උදාවීමේ අවදානමක් නොමැත. නමුත් දැනට ලෝක බැංකුව ඇතුලු ආධාර දෙන ආයතන විසින් ප්රවර්ධනය කරන එමෙන්ම මෙරට රජයද අගය කරන ආහාර නිෂ්පාදනය සම්පූර්ණයෙන් රැඳී ඇත්තේ බහුජාතික සමාගම්වල පේටන්ට් අයිතියට යටත් බීජ සහ අනිකුත් යෙදවුම් මත සිදුකෙරන ආහාර භෝග 12 ක වගාව සහ සත්ව විශේෂ 5 ක මහා පරිමාණ ව්යවසාය මතය. එක්සත් ජාතීන්ගේ ආහාර කාෂිකර්ම සංවිධානයට අනුව මෙය ආහාර සුරක්ෂිතාව අතින් අතිශය අන්තරායදායකය. මේ අනතුර කෙතරම්ද යත් මේ නිසා සමාගම්වල ලාභය වෙනුවෙන් යම් වසංගත තත්ත්වයකදී සමස්ථ මිනිස් ශිෂ්ඨාචාරය පවා විනාශයේ අද්දරට තල්ලුකර දැමිය හැකිය. අනෙක් අතින් මේ නිෂ්පාදන කිසිවක් පෝෂණය අතින් වැඩි ගුණාත්මක බවත් ගෙන නොදෙනවා මෙන්ම සෞඛ්යමය තර්ජනද නිර්මාණය කරයි. කුඩා ඉඩම්වල ඵලදායීතාව සම්බන්ධයෙන් වන චෝදනාද පදනම්ව ඇත්තේ ව්යාජ තර්ක මතය. සංවර්ධනය වන රටවල් 57 ක හෙක්ටෙයාර මිලියන 37 කට වැඩි ප්රමාණයක සිදුකෙරන කුඩා පරිමාණ වගාවන් යොදාගෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධෘනය විසින් සිදුකරනු ලැබූ අධ්යනයකින්1 හෙලිවී ඇත්තේ නිසි කළමණාකරණය සහ ගොවිතැන් ක්රම මඟින් සුලු ගොවීන්ගේ කෘෂිකර්මයේ ඵලදායීතාව 79% කින් ඉහල නැංවිය හැකි බවයි. මහා පරිමාණ කාර්මික කෘෂිකර්මයට ඒ ආසන්නයට පවා පැමිණිය නොහැක. මේ අනුව මේ ’උරුමය’ වැනි ව්යාජ ව්යාපෘති හරහා ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරන මුවාවෙන් මෙරට සුලු පරිමාණ ගොවිතැන විනාශකර දමා පහසුකම් සලසන මහා පරිමාණ වගාව ලොවෙත් සාර්ථකව නැත. නමුත් අවුරුදු 40 කට වැඩි කාළයක් කී බොරුව අලුත් අදහසක් ලෙස කියමින් මේ අපව ගෙන යන්නේ අපේත්, අපේ අනාගත පරපුරේත් විනාශය කරාය. ඉතින්, අපි මේ ගමනට ඉඩ දිය යුතුද? ඉඩම් අයිතිය දෙන බව කියමින් කරන මේ වංචාවට හසුවිය යුතුද?
මේ පිලිබඳ වීඩියෝ වැඩසටහන් මෙතනින් බලන්න.