
පාරිසරික හා සංරක්ෂණ නීති කාගේද, කවුරුන් වෙනුවෙන්ද?
Published
පාරිසරික හා සංරක්ෂණ නීති කාගේද, කවුරුන් වෙනුවෙන්ද?
ජනතාව මඟහැර ක්රියාත්මක කරන පරිසර සංරක්ෂණවාදී පිලිවෙත් විසින් එකී සංරක්ෂණ අරමුණම බිඳ දමනේය යන්න අපට අලුතින් ඉගෙන ගැනීමට ඇති පාඩමක් නොවේ. එවැන්නක් විසින් මිනිසා මෙන්ම අපගේ පරිසර පද්ධතිය තුල වෙසෙන සියලු ගහකොල හා සතා සීපාවුන්ට අතිශය විනාශකාරී ප්රතිවිපාක ගෙනදුන් අවස්ථා ඕනෑවටත් වැඩියෙන් අපි අත්විඳ ඇත්තෙමු. නමුත් අවාසනාවකට මෙන් අවස්ථාවාදී දේශපාලඥයින් හා අදූරදර්ශී නිලධාරී තන්ත්රය විසින් අපට නැවත නැවතත් එවැනි සිදුවීම් නිර්මාණය කරදෙන්නේ ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ දැක්ම තුල මිනිසා මෙන්ම වන සතුන් පිලිබඳවද හැඟීමක් නොමැති බැව් නැවත නැවතත් පසක් කරවමිනි. මේ සම්බන්ධයෙන් වන කණගාටුදායක නිදර්ශයනයක් මේ වන විට පොළොන්නරුවේ රොටවැව ගම්මානය හා ඒ ආශ්රිත පරිසර පද්ධතිය තුල දිගහැරෙමින් පවතී. මේ ඒ සම්බන්ධයෙන් වන අනාවරණයකි.
රොටවැව ගම්මානය
පොළොන්නරුව දිස්ත්රික්කයේ වර්තමාන හිඟුරක්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රොටවැව ග්රාම නිලධාරී වසමට පුරාණ රොටවැව ගම්මානය අයත් වේ. ඵෙතිහාසික තොරතුරු හා ජනප්රවාදයන්ට අනුව පුරාණ රජරට ශිෂ්ඨාචාරය බිඳවැටීමෙන් පසු එම ප්රදේශයේ තැන තැන ඉතිරිව පැවැති කුඩා ගම්මානයක් ලෙස රොටවැවද පැවත ඇතැයි සිතිය හැක. 1900 පමණ වන විට සමස්ථ තමන්කඩුවේ (වර්තමාන පොළොන්නරුව) ජනගහනය 5,000 කට මඳකට වැඩිවෙද්දී රොටවැව සැලකියයුතු පවුල් සංඛ්යාවකින් යුතු ගම්මානයක් ලෙස පැවත ඇත. අතීතයේ සිට පැවැති පවුල්, 1818 කැරැල්ලෙන් පසු සංක්රමණය වූ පවුල් යනාදියේ සම්මිශ්රයකින් සිය ප්රජාව සමන්විත වන්නේය යන්න එහි වෙසෙන ජනයාගේ අදහසයි. 1900 පළවන දශකයේදී මෙම ගම්මානය වෙත පැමිණි සෙලිග්මාන් වැනි මානවවංශ විද්යාඥයින්ට අනුව මෙම ගම්මානයේ ගම් වැද්දන් ලෙස හඳුනාගත හැකි පවුල් කිහිපයක් හා තවත් පවුල් ගණනාවක් ජීවත්ව ඇත. කෙසේ නමුත් මේ සියල්ලෙන් පෙනී යන්නේ රොටවැව ඉතිහාසය පොළොන්නරුව දිස්ත්රික්කයේ බොහෝ ගම්මාන මෙන් 1930 දශකයෙන් ඇරඹි ගොවිජනපද ව්යාපාරය යටතේ නිර්මාණය වූ එකක් නොව ඊට බොහෝ කාළයකට පෙර සිට පැවතුනු එකක් බවයි.
ජන ජීවිතයේ සිදුවූ හැරවුම
ඵෙතිහාසිකවම රොටවැව ජනතාවගේ ජීවිකාව හේන් හා වී ගොවිතැන මෙන්ම දඩයම හා මී කැඩීම වැනි වනාන්තරය ආශ්රිත ක්රියාකාරකම් හා බැඳී පැවතුනි. ගොවි ජනපද ව්යාපාරවල සංවර්ධනය සමඟ කවුඩුල්ල ජලාශයේ වැව් බැම්ම උස් කිරීමෙන් රොටවැව ජනයා ගොවිතැන් කළ කුඹුරුවලින් සැලකිය යුතු ප්රමාණයක් වැව් පිටිය බවට පත්වූ අතර එතැන්සිට එම ඉඩම්වල ගොවිතැන් කළහැකිවූයේ වැවේ ජලය අඩුවූ විට අවුරුද්දේ එක් කන්නයක් පමණි. නමුත් තවත් දශක ගණනාවක් අසල වනාන්නතරවල සිදුරන ලද දඩයම ඇතුලු ක්රියාකාරකම් මෙන්ම හේන් ගොවිතැනද බාධාවකින් තොරව කරගෙන යාමට රොටවැව ජනතාව සමත්වූහ. මේ තත්ත්වය වෙනස්වූයේ ගම දෙපස පිහිටි වනාන්තර ජාතික වනෝද්යාන බවට ප්රකාශයට පත්කිරීමත් සමඟය. 1997 දී මින්නේරිය ජාතික වනෝද්යානයද, 2002 වසරේදී කවුඩුල්ල ජාතික වනෝද්යානයද ප්රකාශයට පත්කිරීමත් සමඟ රොටවැව ජාතික වශයෙන් වැදගත් ලෙස රාජ්ය විසින් නෛතිකවම පිලිගනු ලැබූ පාරිසරික පද්ධතියක් මැද පිහිටි ගම්මානයක් බවට පත්විය. මේ වන විට මින්නේරිය කවුඩුල්ල අතර අලි පිවිසුමද පිහිටා ඇත්තේ ගම ආශ්රිතව ය. අද වන විට වර්ග කි. මී. 5. 9 ක් වන රොටවැව ග්රාමසේවා වසමේ සැලකිය යුතු ප්රමාණයක් මෙම ජාතික වනෝද්යානවලට (ප්රධාන වශයෙන් මින්නේරිය ජාතික උද්යානය) අයත් වේ. මේ අනුව දඩයම, මී කැඩීම වැනි වනාන්තරය ආශ්රිතව රොටවැව ජනයා දීර්ඝ කාළයක් තිස්සේ කරගෙනගිය ජීවිකාවන්ට නැවතීමේ තිත වැටින. මෙම පසුබිම තුල ජනයාට ගම්මානය තුල ඉතිරිව ඇති සෑම බිම් කඩක්ම හේන් ගොවිතැනට යොදා ගැනීමට සිදුවූයේ ගම්මානය තුල කුඹුරු ඉඩම් සීමිත වීමත්, ගම තුල පවත්නා ජලසම්පාදන ගැටලුත් නිසාවෙනි. එනම් ගම තුල ජල සම්පාදනය වෙනුවෙන් පවත්නා කුඩා වැව්වල ජලය (රොටවැව, මාතලා වැව සහ කදුරුගස්වැව) කුඹුරු ගොවිතැනට නොසෑහුනි. ගම්මානයේ යම් යම් පිරිස් තවදුරටත් නීති විරෝධී ලෙස ජාතික වනෝද්යාන තුල දඩයම් ඇතුලු ක්රියාකාරකම්වල නියැලුනද නීතියෙන් පැනවෙන දඬුවම් මෙන්ම සිය ප්රජාව තුලින්ම ඇතිවූ පෙළඹවීම් මත දිනෙන් දින ඔවුහු වඩ වඩා හේන් ගොවිතැන හා සීමිත වශයෙන් සිදුවූ වී වගාව යොමුවෙමින් කෘෂිකර්මාන්තය සිය ප්රධාන ජීවිකාව බවට පත්කරගැනීමේ ක්රියාවලියකට විතැන්වීම අරඹූහ.
වර්තමාන අර්බුදය
මෙවැනි සන්දර්භයක් තුල රජය විසින් කළයුතුව තිබුණේ ඔවුන්ගේ ගොවිතැන සඳහා සහය ලබාදෙමින්, ඔවුන්ගේ ඉඩම් සඳහා නිසි පරිදි බලපත්ර ලබාදීම සහ වගා කටයුතු සඳහා වාරි ජල සම්පාදනයට පහසුකම් සැලසීමයි. අනෙක් අතට ගමට යාබද කවුඩුල්ල හා මින්නේරිය ජාතික වනෝද්යාන ආශ්රිතව බිහිවූ සංචාරක ව්යාපාරයේ ප්රතිලාභ ගම්වැසියන්ට ලබාගැනීමේ මංපෙත් විවරකර දෙමින් දඩයම වැනි ක්රියාවන්හි නිරතවීම අධෛර්යමත් කරමින් පරිසරය හා වනජීවීන් ආරක්ෂා කිරීම මඟින් තමන්ට වැඩි ප්රතිලාභයක් අත්කර ගතහැකි බවට ගම්වැසියන් තුල විශ්වාසයක් ගොඩනැංවීමයි.
නමුත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ එහි පරස්පරය යි. ජාතික වනෝද්යාන මායිම් කරමින් ගම වටා ඉදිකර ඇති විදුලි වැටට ඇතුලතින් ගම තුල පිහිටි කලින් ජනතාව විසින් වගාවට යොදාගෙන තිබූ භූමි 2 ක් මේ වන විට රක්ෂිත දෙකක් (පිලිවෙලින් හෙක්ටෙයාර 40 ක් හා 26 ක් වන යෝජිත රොටවැව රක්ෂිතය සහ කදුරුගස්වැව රක්ෂිතය) බවට පත්කිරීමට පියවර ගනිමින් ඇත. ඒ අනුව එම භූමීන්හි කිසිදු වගා කටයුත්තක නියැලීමේ හැකියාව ඉදිරියේදී ගම්වැසියන්ට නොලැබී යනු ඇත. මේ අතර ගම්වැසියන් විසින් හේන් ගොවිතැනට යොදාගනු ලැබ තිබූ තවත් අක්කර 35 ක පමණ භූමියක් එකී ගොවීන් හා ගිවිසුම්ගතව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තේක්ක වගා ව්යාපෘතියකට යොදවාගනු ලැබිනි. නමුත් අදාල කාළසීමාව අවසානයේ තේක්ක ගස් ඉවත් කරගැනීමෙන් පසු එකී ඉඩම් නැවත ජනතාව වෙත ලබාදෙනු වෙනුවට ගොවිපොලක් පවත්වාගෙන යාම සඳහා යුධහමුදාව වෙත ලබාදනෙ ලදී.
මෙම ක්රියාවන්හි ප්රතිඵලය වන්නේ ගොවිතැන වෙත යොමුවූ ජනයාට සිය කෘෂිකාර්මික කටයුතුවල යෙදීමට ගම තුල වූ ඉඩම් අහිමිව යාමයි. අනෙක් අතට කාළයත් සමඟ ගමේ ජනගහනයද ක්රමිකව වර්ධනය වී ඇති අතර (මේ වන විට එහි ජනගහනය දෙදෙහසකට ආසන්නය) වැඩි වන ජනගහනයට අවශ්ය ඉඩම් ගම තුල ලබාදීමේ හැකියාවක් නොමැත. ජාතික වනෝද්යාන දෙකකට මැදිව පවතින බැවින් ගම පුලුල් කිරීමේ හැකියාවක් නොමැති අතර ගම තුල පවතින ඉඩම්ද රක්ෂිත බවට පත්කිරීම සහ බාහිර පාර්ශ්වයන් වෙත ලබාදීම නිසාවෙන් අලුතින් එකදු ඉඩමක් හෝ නිර්මාණයවීමට ඉඩක් නොමැත.
ගමේ ඉඩම් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වැසියෙක් මෙසේ කී ය.
“1990 දි අපේ තාත්තට රජයෙන් අක්කර 2 1/2 ක බලපත්ර ඉඩමක් ලැබුන. එයාට දරුවො 5 යි. දැනට මමයි, අනෙක් සහෝදර සහෝදරියනුයි අක්කකර 1/2 ගානෙ සාමයෙන් භුක්ති විඳිනව. ඒත් අවම බෙදීමට වඩා අඩු නිසා අපට මේ භුක්ති විඳින ඉඩම්වලට වෙන වෙනම බලපත්ර හදාගන්න බෑ. අපි සහෝදරයො සාමයෙන් හිටියත් අපේ ඊළඟ පරම්පරාව මේව කොහොම කරයිද? අනික මගෙ අක්කර 1/2 තව මොනවද බෙදන්න තියෙන්නෙ. මටත් අක්කර 1/2 න් හරිහමන් ආදායමක් ගන්න බෑ. යාන්තං ගෙදර කෑමට ටිකක් හදාගන්නව. ඉතිං අපි ජීවත්වෙන්නෙ කොහොමද? මේක මේ ගමේ හැමෝගෙම කථාව”.
කරුණු මෙසේ වෙද්දී කරුවලගස්වැව රක්ෂිතය ලෙස නම් කිරීමට යෝජිතව ඇති භූමියේ කොටසක හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාව විසින් කසල අංගනයක් පවත්වාගෙන යාමද සිදුවේ.
කරුණු මෙසේ වෙද්දී කරුවලගස්වැව රක්ෂිතය ලෙස නම් කිරීමට යෝජිතව ඇති භූමියේ කොටසක හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාව විසින් කසල අංගනයක් පවත්වාගෙන යාමද සිදුවේ. එය ක්රියාත්මක වන්නේ මෙරට සියලු පාරිසරික නීති උල්ලංඝනය කරමිනි. මෙරට නීතියට අනුව ජාතික වනෝද්යානයක මායිමේ සිට සැතපුමක් ඇතුලත මෙවැන්නක් පවත්වාගෙන යා නොහැකි නමුත් මෙම ස්ථානය හා වනෝද්යාන මායිම අතර ඇත්තේ මීටර 200 කටත් අඩු දුරකි. අනෙක් අතට 50,000 කට වැඩි පිරිසකට පානීය ජලය සපයන ජල මූලාශ්රයක් වන කවුඩුල්ල වැව වෙත ජලය ගෙනයන එක් ප්රධාන ඇල මාර්ගයක් මෙය ආසන්නයෙන්ම පිහිටා ඇත. වර්ෂා කාළයේදී කසල අංගනය පිහිටි භූමිය ජලයෙන් යටවන අතර එකී ජලය කෙලින්ම ඇල ඔස්සේ කවුඩුල්ල වැව වෙත ගලා යයි. කසල අංගනයේ අපද්රව්ය අතර කාබනික මෙන්ම නොදිරන පොලිතීන් හා ප්ලාස්ටික් පමණක් නොව සායනික අපද්රව්ය පවා අන්තර්ගත වේ. මෙම කසල රැඳවුම ක්රියාත්මක වන්නේ කිසිදු පරිසර ආරක්ෂණ බලපත්රයක් ලබාගැනීමෙන් තොරවය. අනෙක් අතට මෙම කසල අංගනයේ කසල ආහාරයට ගැනීම සඳහා වනෝද්යානය හා ගම අතර ඉදිකර ඇති විදුලි වැට බිඳ දිනපතාම වන අලින් මින්නේරිය වනෝද්යානයේ සිට පැමිණෙන අතර මේ හේතුවෙන් දැවැන්ත අලි-මිනිස් ගැටුමක් ගම තුල නිර්මාණය වී ඇත. අනෙක් අතට මෙම කසල ආහාරයට ගන්නා අලි ඇතුන්ගේ ජීවිතද පවතින්නේ බලවත් අවදානමකය.
අලියෙකු විසින් පහරදීමෙන් පසුගියදා කාන්තාවක් මිය ගියා.
මෙතනින් කොතැනටද?
එක් අතකින් දැඩි සංරක්ෂණවාදී ප්රවේශයක් අනුගමනය කරමින් ජාතික උද්යාන දෙකකට මැදිව අවදුරටත් පුලුල්විය නොහැකිව පවතින ගම තුල පවත්නා ඉඩම් පවා රක්ෂිත බවට පත්කරමින් ගම්මානයේ ජනයා අසීමිත පීඩනයකට ලක්කරන රාජ්ය ආයතන අතිශය නීති විරෝධී පාරිසරිකව බලවත් සේ මිනිසා හා වන සතුන්ට හානිකර ක්රියාකාකරමක් තමන්ට අයත් භූමියේ ක්රියාත්මකවීමට ඉඩදී බලාසිටී. රොටවැව ජනතාව විමසා සිටිනේ මේ සංරක්ෂණය කවුරුන් උසොද යන්නයි. ජනතාවට ඉඩම් අහිමිය. නමුත් වනසතුන්ටද සුදුසු පරිසරයක් නොපවතී. අද වන විට සිය මූලික ජීවිකාව බවට පත්ව ඇති කෘෂිකර්මාන්තයට අවශ්ය ඉඩම් නොමැති රොටවැව ජනතාව දැන් කළයුත්තේ කුමක්ද?
“අපි කැලෙත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. නමුත් වනෝද්යාන ආවට පස්සෙ අපි ඒ නීති වලට ගරුකරල ටිකින් ටික වෙනස් ජීවිතේකට හුරුවුනා. දැන් ඒ ජීවන රටාවත් ගෙනියන්න විදිහක් නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිවුනාම ඕන දෙයක් කරනව. දැන් මිනිස්සු හිරේ වැටෙන්න හරි බලාගෙන වැඩි වැඩියෙන් දඩයමේ යන්න ගත්තොත් මොකද වෙන්නෙ? දැනටමත් ඒව සිද්ධ වෙනව. වෙනද අවුරුද්දට එක වතාවක් කරපු කැලේ මී කැඩීම දැන් තුන් වතාවක් කරනව. මෙහෙම ගියාම පිලවු විශාල වශයෙන් විනාශ වෙනව. නමුත් ජීවත්වෙන්න විදිහක් නැති මිනිස්සු මොනවද කරන්නෙ. ආණ්ඩුවේ තීරණ නිසාම තමයි ආයෙ අපිව කැලේට තල්ලු කරන්නෙ”.
මතුවෙමින් පවත්නා අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි නායකයෙකුගේ අදහස එසේ විය.
“සංරක්ෂණ නීති අපට විතරද” රොටවැව ජනයා විමසති. ජනතාව නොතකා හරින පරිසර සංරක්ෂණයක් විසින් සිදුකරන්නේ යහපතකට වඩා අයහපතක්ය යන්න රොටවැව සිදුවීම තුලින් නැවත නැවතත් අපට පෙන්වා දෙමින් සිටියි. මේ මුග්ධ ක්රියාවලීන් තුල පයට පෑගෙන දුහුවිලි තරටමට නොවැදගත්ව සිය ජීවිත හා අනාගත පරම්පරාවල ජීවිතවලින් වන්දි ගෙවන්නේ මිනිසුන් හා වන සතුන් ය. ඒ සම්බන්ධයෙන් රටේ බහුතර ජනයා දක්වන අසංවේදීත්වය බිය දනවන සුලුය.
ප. ලි. යුද හමුදාව විසින් ගොවිපලක් පවත්නාගෙන යනු ලැබූ භූමියෙන් පසුගිය සතියේ ඔවුන් ඉවත්වීමට කටයුතු කළ අතර අක්කර 35 ක් පමණ වන එකී ඉඩම ගමෙන් පිටත ආයෝජකයෙකුට ලබාදෙනු ඇතැයි ගම්වැසියෝ බිය පළකරති. මීට පෙරද එවැනි උත්සාහයන් ගණනාවක්ම ක්රියාත්මකව ඇත.
The People’s Alliance for Right to Land(PARL)