
වලිකාමම් උතුරු ප්රදේශයේ ඉඩම් අක්කර 109ක් යළි මුල් පදිංචිකරුවන්ට ද?
Published
වලිකාමම් උතුරු ප්රදේශයේ ඉඩම් අක්කර 109ක් යළි මුල් පදිංචිකරුවන්ට ද?
රජයේ හමුදා බලහත්කාරයෙන් අල්ලාගන සිටින වලිකාමම් උතුරු ප්රදේශයේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් හට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්ය අංශය පසු ගිය දා ප්රකාශයට පත් කළේය. මෙම ප්රවෘත්තියේ සත්ය අසත්යතාව සොයා බැලීමට, ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංධානය පසුගිය දා යාපනය වලිකාමම් ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නියැළුනි. එම චාරිකාවේදී හෙලි වූ කරුණක් වන්නේ, බෙදා දුන් අක්කර 109ක කොටස, රජය යටතේ පැවති රක්ෂිත භූමියක් සහිත කොටසක් වන බවයි. ප්රදේශවාසීන් අපසමග කියා සිටියේ, බෙදා දුන් ඉඩම් රජයේ රක්ෂිත නිසාත්, එම ඉඩම් කොටස් නියමිත පරිදි කට්ටි කර නොතිබීමත්, පිඹුරක් හෝ මෙය තමන්ට අයත් ඉඩම් කොටසක්යැයි හරිහැටි හඳුනා ගැණීමට නොහැකි නිසා බෙදා දුන් රක්ෂිත භූමියට මිනිසුන් නො පැමිනෙන බවයි.
අප, වලිකාමම් උතුරු ප්රදේශයට ආසන්න වන විටම දැකගත හැකි වූයේ, ඒ අවට ජනයා ගොවිතැන්වල නියැලී සිටින ආකාරයයි. රතු-දුඹුරු පස පෙරලා දුම්කොළ,රතු අල(බීට්-රූට්) කැරට් සහ ළූණු සාරවත් ලෙස ගොවීන් වගාකොට තිබුණි. රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අල්ලාගන සිටින ඉඩම්, යුද්ධය ආරම්භවීමට ප්රථමව මිනිසුන් ස්ථීර ජනාවාස පිහිටුවාගන සිටි භූමිය බව පසක් කරනුයේ, තවමත් හමුදා කඳවුර පිහිටුවාගන සිටින සීමාවේ දක්නට ලැබෙන පැරණි,විනාශ වූ එහෙත් නටඹුන්ව ඇති නිවාස පද්ධතියයි.පහතින් පළ කර ඇති වීඩියෝවේ මුල් තප්පර කිහිපය නරඹන ඔබට මෙය වඩාත් හොඳින් දැක ගැනීමට පුළුවන. වීඩියෝවේ අවසාන තප්පර කිහිපය මගින් පෙන්නුම් කරනුයේ, රජය විසින් නිදහස් කළායැයි පවසන, සාරවත් බවින් අඩු, කර්කෂ භූමි භාගයයි. තවමත්, ජනාවාස වලට සුදුසු බිම් කඩ රඳවාගන සිටින්නේ රජයේ හමුදාව විසිනි. එහෙත්, යුද්ධය නිසා සිය මුල් ගම් බිම් අතහැර පලා ගිය මිනිසුන්ගේ ඉඩම් නැවත කවදා තමන්ට හිමිවේවි දැයි යන බලාපොරොත්තුවෙන් අවතැන් කඳවුරු වල, ටකරං මඩුවලට ගාල් වී ජීවත් වෙන මිනිසුන් දහස්ගණකි. වර්ථමානයේ රජයේ යුද්ධ හමුදාව විසින් පවත්වාගන යනු ලබන තල් සෙවන ගිමන්හල සහ හමුදාපතිගේ නිල නිවැස්න අයිති භූමියද, අවතැන් කඳවුරු වල ජීවත් වන ජනතාවට අයත් ඒවාය. එහි සිදුකරන සංවර්ධන කටයුතු දෙස බලා සිටීමෙන් පෙනෙන්නට තිබෙන්නේ, එම භූමිය, නැවත කිසිදා මුල් පදිංචිකරුවන්ට හිමි නොව සේයාවක්ය.
ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් බෙදා දුන් ඉඩම් පිළිබඳව රජයේ ඉඩම් සම්බන්ද වගකිවයුතු නිලධාරියෙකුගෙන් විමසූ කළ ඔහු අපට කියා සිටියේ, ජාතියන්තරය රවට්ටන්නට සහ දේශීයව නැගගන එන, 'මුල් ඉඩම් නැවත ලබාදෙනු' යන ජනතා විරෝධය සමනය කරන්නට මෙවැනි ඉඩම් බැහැර කිරීම් රජය විසින් සිදු කරනා බවකි. මිනිසුන් පරිහරණය කළ සාම්ප්රදායික භූමිය නිදහස් කිරීම වෙනුවෙන් දේශපාලන තීන්දුවක් ගන්නා තුරු ජනතා අරගලයන් තව තවත් ශක්තිමත් කළ යුතු බවද ඔහු, තව දුරටත් අප හා පැවසීය.